නාගරික නිවාස ගැටලුව

නාගරික නිවාස ගැටලුව – හැඳින්වීම

මිනිසෙක් ලෙස උපත ලැබීමත් සමග සෑම ජීවියෙකුටම හිමි විය යුතු මූලික අවශ්‍යතාවක් වන්නේ හිසට වහලක් තිබීමයි. එනම් ආරක්ෂිත නිවසක හිමිකම සැමට සමාන අයිතියක් විය යුතුයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය වේගවත් වීමත් සමග දුප්පත්ම නගර වැසියන්ට නිවාස හිඟයකට මුහුණ පෑමට සිදු වී තිබේ. නාගරික නිවාස ගැටලුව යටතේ අවධානයට යොමු වන්නේ ‍මේ කාරණයයි.

2020 වර්ෂයේ පැවති ලෝක ජනාවාස දිනය “නිවසක ඇති වැදගත්කම” යන තේමාව යටතේ පවත්වා ඇත්තේ ද මිනිසෙක්ට ජීවිතය පවත්වා ගැනීමේ දී නිවස අත්‍යවශ්‍ය ම අංගයක් බව පෙන්වා දීමට හැකිවන ලෙසයි.  වර්තමාන කුටුම්භ මිලියන 330 කට පමණ ප්‍රමාණවත් තරම් හා ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමැති වීම විශාල ගැටලුවකි. 2025 වන විට මේ හිඟය 30% කින් වැඩි වෙතැයි පුරෝකතනය කරන තත්ත්වයක මේ සඳහා විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වුවකි.

ප්‍රමාණවත් නිවාස පහසුකම් නොමැතිකම හා වාසය කිරීමට කෙසේ හෝ නිවසක් නොමැතිකම ලෙස මේ ගැටලුව දෙයාකාරයකට විග්‍රහ කළ හැකිය. ලෝක නාගරික ජනගහනයෙන් බිලියන 1.2 ක්ම ආරක්ෂාකාරී නිවාස නොමැති වූවන්වන අතර ඇතැමුන්ට ජීවත් වීමට කවර හෝ තත්ත්වයක නිවාසයක් නොමැති වූවන් ය.

නාගරික දිළිඳු පුද්ගලයන් ජීවත්වන ප්‍රදේශ

නිවාසයක් ලෙස අදහස් කරන්නේ හිසට සෙවණක්ම නොවේ. එනම් එහිදී මුලික අවශ්‍යතා වන ජලය, විදුලිය, ගමනාගමන පහසුකම්, මානසික නිදහස ආදිය ද අන්තර්ගත විය යුතුය. නමුත් නාගරික දිළිඳු ජනයන් බහුලව ජීවත් වන්නේ පැල්පත්, අඩු පහසුකම් සහිත කුලී නිවාස, රේල් පාරවල් අසල, දිරා ගිය බස් රථ තුළ, වතුර බෝක්කු ඇතුළේ, කෝච්චි පෙට්ටි තුළ ආදියේයි. මේවායේ මිනිසෙකුට තෘප්තිමත් හා ගුණාත්මක බවින් යුතු ජීවිතයක් ගත කිරීමට තරම් පරිසරයක් නොමැත. එබැවින් මොවුන්ට බොහෝ ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් නාගරික නිවාස ගැටලුව මතු වී ඇත.

නාගරික නිවාස ගැටලුවේ තත්ත්වය

  • ප්‍රමාණවත් නිවාස නොමැති වීම

මෙම තත්ත්වය වැඩි වශයෙන් දියුණු වෙමින් පවතින රටවල දක්නට ලැබේ. මෙහිදී නිවාස ඉල්ලුම නිවාස සැපයුමට වඩා වැඩි වීම නිසා නිවාස හිඟකම ඇති වී ඇත. ඒ හේතුවෙන් එක  නිවාසක ජීවත්වන පිරිස වැඩි වී ඇත.

  • පහළ ගුණත්ත්වයෙන් යුතු නිවාස

නාගරික ප්‍රදේශ ආශ්‍රෙයන් පැල්පත් නිවාස බිහි වී තිබීම දැක ගත හැකි ය. මේ පැල්පත් නිවාසවල ජීවත්වන විට ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අඩු වීම, පරිසර දුෂණ තත්ත්ව සමග ජීවත් වීමට සිදු විම හා සමාජ ප්‍රශ්න ඇති වීම  ආදී ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දීමට සිදු වේ.

  • පරිසර දුෂණය

පරිසර දුෂණය වීමට මිශ්‍ර ඉඩම් පරිහරණය බලපානු ලබයි. එනම් කර්මාන්තශාලා  සේවා සපයන ස්ථාන හා වෙළදසැල් අසලම නිවාස ද ගොඩනගා ඇති අවස්ථාවක පරිසර දූෂණය විශාලවම සිදු වේ. ඒ හරහා ඔවුනගේ සෞඛ්‍ය තත්ත්වයට එල්ල කරනුයේ දැඩි බලපෑමකි.

  • සමාජ ප්‍රශ්න

මෙවැනි නිවෙස්වල හෝ පරිසරයක ජීවත්වන විට පවුල් ගැටලු, මානසික අවපාත තත්ත්වයන්, හොරකම්, ජාතීන් අතර ඇතිවන අසමගිය ආදිය ඇති වේ.

නිවාස ගැටලුවට හේතු

  • නිවාස ප්‍රමාණවත්ව නොමැති වීම

නිවාස ඉල්ලුමට සාපේක්ෂව නිවාස සැපයුම සීමා සහිත වීම මේ සඳහා බලපානු ලබයි.

  • ජනගහනය වර්ධනය වීම

2021 ලෝක ජනගහනය බිලියන 7.9 ක්වන අතර එය 2010 වර්ෂයේ දී පැවත ඇත්තේ 6.9 ක් ලෙසිනි. මේ ජනගහනයෙන් බිලියන 4.4.ක් නාගරිකව ජීවත් වේ. කාලයත් සමග මේ ආකාරයෙන් 2050 වන විට ලෝක ජනගහනය 9.9 ක් වන බව පුරෝකතනය කර ඇති පසුබිමක ජනගහනයේ වර්ධනයත් සමග භූමි ප්‍රමාණය ස්ථාවරව පැවතීම නිසා නාගරික නිවාස ගැටලුව තවත් උග්‍ර තත්ත්වයට පත්වන බව නොරහසකි. 2050 වන විට ලෝක ජනගහනයෙන් 68% ක් නාගරිකව වාසය කරනු ඇතැයි ද පුරෝකතන පවතී.

  • ග්‍රාමීය නාගරික සංක්‍රමණය සිදු වීම

රැකියා බොහොමයක් නාගරික ප්‍රදේශවල ස්ථානගත වීමත්, අධ්‍යාපන පහසුකම් නාගරික ප්‍රදේශවල ඉහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් ගමෙන් නගරයට සංක්‍රමණය වන ප්‍රමාණය ඉහළ යාමත් සමග මේ ගැටලුව දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.

  • නාගරීකරණය වීම

නාගරිකව රැකියා අවස්ථා, ඉහළ අධ්‍යාපන පහසුකම්, මාර්ග ගමනාගමන පහසුකම්, ආර්ථික සංවර්ධනය ආදියේ දියුණුව නිසා නාගරික ජනගහන ගැටලුව වර්ධනය වෙමින් පවතියි.

නාගරික නිවාස ගැටලුවට ගත හැකි විසඳුම්

  • නව නගර සංවර්ධනය කිරීම

නාගරිකව සිටින ජනගහනය ග්‍රාමීය ප්‍රදේශ කරා රැගෙන යාම මෙහිදී සිදු වේ. සැලසුමකට අනුව ජනතාව නව නගරය තුළ පදිංචි කිරීම මෙහිදී කළ යුතු ය. මෙම සංකල්පය තුළින් බලාපොරොත්තු වන්නේ සියලු පහසුකම් එක තැනකට ඒකරාශී වීම වැලැක්වීම, කර්මාන්ත විමධ්‍යගත වීම, මිශ්‍ර ඉඩම් පරිහරණය වෙන් කිරීම ආදියයි. නව නගර සංකල්පය නාගරික නිවාස ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් වුවද එම සංකල්පය ක්‍රියාත්මක වීම සම්බන්ධව යම් ගැටලුකාරි තත්ත්වයක් ඇති වේ. එනම් නව නගර ඉතා හොඳින් සැලසුම් කර නොතිබිම හේතුවෙන් ජනතාව අඩු පහසුකම් යටතේ හෝ ඉන්න තැනම සිටීමට උත්සහ කරනු ලැබීමයි. එබැවින් නව නගර සංවර්ධනය කිරීමේදී හොඳින් සැලසුම් කර සංවර්ධනය කිරීම ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් වැදගත් වේ.

  • පැල්පත් නිවාස ඉවත් කර ඒ වෙනුවට නව නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දීම

එහිදී තට්ටු නිවාස යෝජනා ක්‍රම යටතේ පවතින නිවාස කඩා ඉවත් කිරීම හා පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතු ය.

  • නිවාස භාර අරමුදල් සඳහා වැඩියෙන් ආයෝජනය කිරීම

අඩු ආදායම්ලාභී සහ කම්කරු පංතියේ පදිංචිකරුවන් සඳහා නව ගොඩනැගිලි ඉදිකර පැවරීම සඳහා මෙම මුදල් භාවිත කළ හැක. එබැවින් එවැනි අරමුදල් සඳහා ආයෝජනය කර පසු කාලීනව ඔවුන්ගෙන් කුලී ආදායම් ලබා ගැනීම හරහා රජයට පසු කාලීනව ආදායමක් ඉපයීමට ද  අවස්ථාව උදා වේ.

  • ජනතාව සඳහා ඉදිකරන නිවාස පහසුකම් සඳහා රජයේ හා පුද්ගලික අංශයේ දායකත්වය වැඩි කිරීම

 

අයි. ටී. එන්. ප්‍රියදර්ශනී, එන්. එම්.ඒ. ජයසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය
ආශ්‍රිත ග්‍රන්ථ

Jerving,S. (2017), The urban housing crisis, The wall street journal, Available from: https://www.devex.com/news/a-guide-to-fixing-the-urban-housing-crisis-90629 (Accessed 9th July 2021)

Mondal,P.(N.D), Assay on Housing Problems in Urban Areas,Your article library, Available from: Essay on Housing Problems in Urban Areas (1683 Words) (yourarticlelibrary.com) (Accessed 10th July 2021)

Rondinelli, D.A. (1990), Housing the urban poor in developing countries,The American Jornal of Economics and Socialogy, Vol.49: pp153-166(14 Pages)

 

Recent Blogs

මානසික ඒකාග්‍රතාව
March 9, 2024
Externalities and Market Failure
January 30, 2024
Swing between British and American Englishes
January 30, 2024
Decoding Cryptocurrency: Navigating the Future of Digital Finance.
January 30, 2024
Digital Vigilance: Empowering Security in the Modern World
November 27, 2023

Recent News

Faculty Publication Day – 2024
February 17, 2024
Faculty Publication Day – 2024
February 17, 2024
Blog Writing Workshop
February 13, 2024
පීඨ ප්‍රකාශන දිනය – 2023
February 13, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023

Upcoming Events