පළිබෝධකයන් හා පළිබෝධනාශක
මිනිසා විසින් තම ආහාර සඳහා හෝ තමන්ට අවශ්‍ය කෙඳි වර්ග ලබා ගැනීමට හෝ උපයෝගී කර ගන්නා පැලෑටි වර්ග හා සතුන් කිසියම් අයුරක විනාශයකට ලක් කරවන කෘමීන්, කුරුල්ලන්, කිනිතුල්ලන්, පුස් බැක්ටීරියා, වල්පැළෑටි, මීයන් හෝ වෛරස් (විෂබීජ) වර්ග පළිබෝධක වශයෙන් හැඳින්විය හැකිය. පළිබෝධකයන්ගේ බලපෑම හේතුවෙන් ආහාර හා ගොවි ඉඩම් විශාල වශයෙන් විනාශයට ගොදුරුව ඇති බව නොරහසකි. මෙම ව්‍යසනයෙන් වැළකීමට උපයෝගී කර ගන්නා ස්වාභාවික උපක්‍රම හෝ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය පළිබෝධනාශකයන් ලෙස සලකනු ලබයි.
පළිබෝධකයන්ගේ උපකාර
ආහාර හා අවශ්‍ය අවකාශයන් ලබාදුනහොත් ඕනෑම ජීවී වර්ගයකට අසීමිත පරිදි බෝ කිරීමට ද වැළැක්වීමකින් තොරව වැඩිවීමට ද ශක්තිය ඇත. එසේ වුවද ගහකොළ, පැළෑටි වර්ග, ජලය, ආලෝකය, පසෙහි සාරභාවය යනාදී ආහාර උත්පාදකයන් සලකන විට ඒවා එකිනෙක අතර ආහාර සම්පාදනයේ දී තරග කර ගනිති. එපමණක් ද නොව පැළෑටි හා සත්ව වර්ග දෙකම පරපෝෂිතයන්ගෙන් නිරතුරු පීඩාවට පත්වෙති. මේ තරගකාරී හා ප්‍රතිවිරෝධී සම්බන්ධතාවලට අමතරව උපකාරික ප්‍රතිචාරයක් ද නැත්තේ නොවේ. වාතයේ ඇති නයිට්‍රජන් ලවන වර්ගයන්ට හැරවීම මඟින් බැක්ටීරියාවන් පැළෑටිවල ජීවීය පැවැත්මට ආධාර කරනු ලැබේ. සතුන් හා කෘමීහු ගස්වැල් රාශියක පරාගනය කරවන අතර තමාගේ සිරුරින් ඉවත ලන අපද්‍රව්‍ය මඟින් ද අවසානයේදී සිය මළසිරුරු මඟින් ද පසෙහි සාරවත් බව වැඩි කරති.
පළිබෝධකයන්ගේ උවදුරු
පසුගිය දශක තුනකට අධික කාලය තුළ දී ලොව සෑම තැනම වාගේ ගස් හා පැළෑටි වර්ග ඒවායේ මුල් ස්වාභාවික ස්ථානවලින් ඉවත්කර වෙනත් ප්‍රදේශවලට ගෙන යාම බහුලව සිදු විය. ඇමරිකා එක්සත් ජනපදය පැළෑටි හඳුන්වා දීමේ ක්‍රියා පිළිවෙත යටතේ පමණක් තම රටට වෙනත් රටවලින් පැළෑටි ගෙන්වා ඇති අතර පසුකාලීනව මුහුණදීමට සිදු වූ කෘමි වසංගතයෙන් අඩක් පමණ මෙලෙස හඳුන්වා දෙන ලද නව පළෑටි වර්ග සමඟ සංක්‍රමණය වීමෙන් සිදුව ඇත. 1850ට පෙර පැවති කොලරාඩෝ කුරුමිණි උවදුර පසුව සමස්ත බටහිර යුරෝපය පුරා ද පැලපදියම්ව ඇත.
විශේෂයෙන් අඩු දියුණු රටවල අපනයන ඉපැයීම් වැඩි කර ගැනීම සඳහා වැඩි වැඩියෙන් වාණිජ බෝග වගාව කෙරෙහි යොමු විය යුතු අතර ඒ සඳහා පළිබෝධනාශක වැඩි වැඩියෙන් භාවිත කළ යුතුය. එබැවින් ලෝකයේ අඩු දියුණු රාජ්‍ය මෙවැනි වාණිජ බෝග නිපැයුම් මත රඳා පැවතීමෙන් යම් ආකාරයකින් වැඩිදියුණු කළ බෝග වර්ග සඳහා අවශ්‍ය අංගයන්ගෙන් එකක් හෝ අඩු වුවහොත් වැඩි දියුණු කළ ධාන්‍යවලින් ලැබිය හැකි අස්වැන්න සාම්ප්‍රදායික ධාන්‍යවලින් ලැබිය හැකි අස්වැන්නට වඩා අඩුවීමට ද ඉඩ පවතියි. අනෙක් අතට විවිධ පළිබෝධකයන්ගේ බලපෑම අවම කිරීමට දිගින් දිගටම රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා වගා බිම්වල පසෙහි දුර්වල තත්ත්ව ඇතිවිය හැක. එමගින් වගාබිම්වල ජලය රඳා පැවතීම පිළිබඳ හා සෝදාපාළුව පිළිබඳ ගැටලු ද ඇති විය හැකිය.
ව්‍යසනයට මිනිසාගේ සහයෝගය
අතීතයේ පැවති ශෂ්‍ය මාරුව වැනි ස්වාභාවික උපක්‍රම ඉවතලා විශාල පරිමාණයේ තනි වගාවන්ට යොමුවුණු නව කෘෂි උපක්‍රම ද පළිබෝධක ප්‍රශ්න ඇතිකර වීමට හේතු වී ඇත. විශාල භූමි ප්‍රමාණයන්ගෙන් වගා කෙරෙන රාජ්‍යයන්ගේ පමණක් නොව බහු ජාතික සමාගම් විසින් වාණිජ බෝග වගා කිරීම සඳහා ආයෝජන කරන ලද ඌන සංවර්ධිත රාජ්‍ය කෙරෙහි ද මෙහි බලපෑම් ඇතිකර තිබේ. කිසියම් රටක ඇති සාරවත් ඉඩම් භාවිත කර ඇත්තේ වාණිජ බෝග වගාව වෙනුවෙන් නම් (උදාහරණ වශයෙන් පිලිපීනයේ වගා ඉඩම්වලින් 55%) වඩාත් බියකරු තත්ත්වය වන්නේ රටෙහි ජල සම්පාදනයෙහි, පොහොර භාවිතයෙහි, කෘමිනාශක භාවිතයෙහි හා යන්ත්‍ර සූත්‍ර භාවිතයෙහි ප්‍රමුඛත්වය එවැනි වාණිජ බෝග සඳහා යොමු වී තිබීම ය. මේ නිසා අඩු දියුණු රටවල ප්‍රධාන නිෂ්පාදිතය වන වාණිජ බෝග සඳහා එම රටවලට දැරිය නොහැකි තරම් රසායනික පොහොර හා පලිබෝධනාශක ද අවශ්‍ය වේ. එම රටවල ගොවි පවුල් විසින් මුල්කාලීනව භාවිත කරන ලද ස්වාභාවික උපක්‍රම ක්‍රමයෙන් භාවිතය අඩු කිරීමත් එහි ප්‍රතිඵල ලෙස පසෙහි විවිධ ඓන්ද්‍රීය ද්‍රව්‍ය අඩුවීමත් සමඟ වාණිජ බෝග නිසා පළිබෝධකයන් වැඩිවීමක් දැකිය හැකිය. මෙම තත්ත්වය වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම්වලට ද ඒවා ආශ්‍රිත සමස්ත පරිසර පද්ධතියට ද බලපෑම් ඇති කර ඇත.
රසායනික පළිබෝධනාශක ඇයි?
රසායනික නිෂ්පාදන හුදෙක් වෙළෙඳපොළේ ඉල්ලුම සපුරාලීමට විනා මනුෂ්‍ය සංහතියේ යහපත සඳහා ඇති වූවක් නොවන බව ගම්‍ය වෙයි. එයට හේතුව ඒවා මඟින් ස්වාභාවික පරිසර පද්ධතියේ පවතින ආහාර දාම හා ආහාර ජාලයන්ට විනාශකාරී බලපෑම් ඇති වීමයි. ඒවායේ පවතින අවශ්‍යතාව වන්නේ ආර්ථිකමය වාසිය පමණි. නමුත් අද වන විට බහුජාතික සමාගම් විසින් ගොවියාගේ ආර්ථික වාසිය උදුරාගෙන ඇති බැවින් රසායනික පළිබෝධනාශක වෙනුවට ජීව විද්‍යාත්මක ආදේශක භාවිත කිරීමේ ප්‍රවණතාවක් ගොඩනැගී ඇත.
අනාගත අභියෝගය
වර්තමානයේ දක්නට ලැබෙන පළිබෝධක තමන්ට ඇති අඩු තරගකාරීත්වය, අඩු ස්වාභාවික සතුරන් සහිත බව හා මනා ආහාර සැපයුම නිසා ඉදිරියේ දී අති මහත් ප්‍රමාණයක් වූ ව්‍යසනයක් මිහිතලය මත ඇතිකරලීමට තරම් සමත් විය හැකිය. මෙම ව්‍යසනය ප්‍රවේගාත්මක වන්නේ වර්තමානයේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රයෙන් කෙරෙන පළිබෝධනාශක නිසා පාරිසරික තුල්‍යතාවන්ට ඇතිවන අහිතකර බලපෑම ද හේතුවෙනි. එමෙන්ම අඩු දියුණු රටවල් බටහිර කෘෂිකාර්මික ආදර්ශ අනුව කටයුතු කිරීමට නැඹුරු වීම හේතුවෙන් සමස්ත පාරිසරික ප්‍රජාවටම පුරෝකතනය කළ නොහැකි බොහෝ පාරිසරික ගැටලු හා සෞඛ්‍යමය තර්ජනවලට මුහුණ දීමට සිදු වීම කනගාටුදායක ය. පළිබෝධනාශක භාවිතය මගින් විවිධ වූ වාසි ඒවා භාවිත කරන්නන්ට හා නිෂ්පාදකයන්ට ලැබුණ ද අඩු දියුණු රටවල් වශයෙන් ශ්‍රී ලංකාව, පිලිපීනය, මොරිසස් ආදී රටවල ඒවායෙන් ඇතිවන අහිතකර බලපෑම් හඳුනා ගැනීමට අවශ්‍ය විශේෂඥ දැනුම හිඟ වීම ද මෙවැනි පාරිසරික ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇත.
මූලාශ්‍ර:
Davis, R. K. 1963, ‘The value of big game hunting in a primitive forest’ in Transactions of the Twenty-Ninth North American Wildlife Conference, Washington DC: Wildlife Management Institute.
Environmental impacts. In: Pesticide Action Network. Available from http://www.panna.org/ issues/persistent-poisons/environmental-impacts. Accessed Dec 20, 2019
Johannesson, M., Jonsson, B. and Borgquist, L. 1991, ‘Willingness to pay for antihypertensive therapy: Results of a Swedish pilot study’ Journal of Health Economics, vol. 10, pp. 461-474.
National Poisons Centre, 2010, Pesticide Statistics, Colombo General Hospital, Sri Lanka. . .
Sivayoganathan, C., Gnanachandran, J., Lewis, J. and Fernando, M. 1995, ‘Protective measure use and symptoms among agropesticide applicators in Sri Lanka’ Social Science and Medicine, vol. 40, pp. 431-436.
World Health Organization (WHO)., 2000, Public Health Impact of Pesticides Used in Agriculture, pp. 79-86, WHO, Geneva.
World Resources Institute., 1994, World Resources, 1994/1995, Oxford University Press.
එන්. එම්. ඒ. ජයසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය