සුභදායී නව වසරක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අපට ලොව වටා විහිදෙන යුද ගිනි දැල් ජාලාවලින් විනාශ වී යන ජීවිත පිළිබඳ අසන්නට ලැබීම කණගාටුදායක ය. ජාත්‍යන්තරව පවතින යුද කෝලාහල අප රටට දුරින් පැවතිය ද එයින් ජනිත වන බලපෑම විඳ ගැනීමට සිදු වී ඇත. විශේෂයෙන්ම කලින් බලාපොරොත්තු විය නොහැකි ගංවතුර, භූමිකම්පා, වසංගත, ලැව්ගිනි ආදී ව්‍යසනයන් අප පීඩාවට පත් කරයි.
මෙම පරිසරයන් තුළින් බිහිවන ගෝලීය අතවරයන්ට ද අප මුහුණ දිය යුතුය. අප අවට පරිසරයේ ඇති කාලයක් පවතින සුභදායී දෙයක්, යහපතක් ලෙසට නොසලකන, හදිසියේ නැති වී, තමාට දැනෙන එසේ වෙනස් කළ නොහැකි අතවර ගෝලීය අතවර ලෙස හැඳින් වේ. අධික ශබ්දය, පරිසර දූෂණය, අපවිත්‍රතාව, වාහන තදබදය, පිරිස් තෙරපීම, අපිරිසිදු වාතය, පරාග හෝ දූවිලි අධික වාතය මේවාට උදාහරණ වේ.
ඉහත සියළු කරුණු මැද ජීවත් වන මිනිසාගේ මනස සුන්දර ලෝකයක් කරා ගෙන යන්නේ කෙසේ ද යන්න අප සැමට ම ඇති බරපතල ප්‍රශ්නයකි. ඒ තුළින් මතුවන සමාජ හා මනෝවිද්‍යාත්මක ගැටළු විසඳා ගැනීමට උත්සාහ දැරීමේ දී මනෝවිද්‍යාවෙන් ලැබෙන පිටිවහල ඉතා වැදගත් වේ. මනෝවිද්‍යාත්මකව ගැටළු නිරාකරණය කර ගැනීම යොදා ගත හැකි ක්‍රම තුනක් පිළිබඳව ‘මාර්ෂියා ලිව්මන්’ නම් මනෝවිද්‍යාඥයා සඳහන් කර ඇත.
- ගැටළු නිරාකරණය කර ගැනීමේ දී විධිමත් ලෙස පියවරින් පියවර ගැටළුව විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ. එකවර විසඳීමට යාම තුළින් පුද්ගලයා අපහසුතාවට පත් වේ.
- ගැටළුවට අදාළ කරුණු පිළිබඳව නිවැරදිව අභ්‍යාස කිරීම අවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත් ගැටළුව තවදුරටත් වර්ධනය වනු ඇත.
- එසේම ගැටළුවක් ඇති වන්නේ එය ඇති වීමට පෙර තිබූ විකල්පයන්ට සුදුසු වන පරිදි තීරණ නොගැනීමයි. විකල්පයන් සඳහා අවධානය යොමු නොකර සිටීමෙන් ගැටළුවට මතු වීමට ඉඩ දීම නොකළ යුතු බව මාර්ෂියා පෙන්වා දෙයි.
නොවිසඳුන මනෝවිද්‍යාත්මක ගැටළු ආශ්‍රයෙන් බොහෝ විට පුද්ගලයා හා සමාජ ගැටළු වර්ධනය විය හැකිය. අන්තර් පුද්ගල සබඳතාවන් අඩු වීම, සමාජයක් වශයෙන් එක්ව කටයුතු නොකිරීම වැනි තත්ත්වයන් නිසා ජාති, ආගම්, කුල හා පන්ති වශයෙන් විවිධ ආරවුල් සමාජයන්හි හට ගනී. විවිධ වූ මානසික රෝග ඇති වීම මෙන් ම බොහෝ පුද්ගලයන් තුළ විවිධ මානසික ආතතීන් ඇති වීම ද අද සුලභව දක්නට ඇත. තමා ජීවත් වන පරිසරය, තම රැකියා ස්ථානය, පවුල් ජීවිතය ආදී වශයෙන් සෑම තැනක දී ම පුද්ගලයා මානසික ආතති තත්ත්වයන්ට ගොදුරු විය හැක. මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා මනස පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අතීතයේ සිට ම මිනිසා විසින් මනස අවබෝධ කර ගැනීමට ඉමහත් ප්‍රයත්නයක් දරා ඇත. බටහිර දාර්ශනිකයින් අතර ආරම්භක යුගයේ ජීවත් වූ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, පයිතගරස් වැනි ප්‍රාඥයින් විසින් ආත්මය ගැන වූ කායික ක්‍රියාවලියට අමතරව මානසික ක්‍රියාවලියක් ගැන ද සඳහන් කර ඇත. ඔවුන් ‘ආත්මය’ යන්න ‘මනස’ යන වචනයට වඩා භාවිත කරනු ලබන අතර වර්තමානයේ ආත්මය යන්න භාවිතයෙන් ක්ෂය වී මනස යන්න ඉස්මතු වී ඇත. මානසික ක්‍රියාවලීන් නම් සිතුවිලි, ස්මෘතීන්, මනෝභාව, චේතනාවලීන්, සිහින, ප්‍රත්‍යක්ෂ සහ විශ්වාස යන කරුණු ය. මෙම සුවිශේෂී තත්ත්වයන් අධ්‍යයනය සඳහා විද්‍යාත්මක ක්‍රම වර්තමානයේ භාවිත වේ.
මානසික ගැටළු අවම කර ගැනීම සඳහා යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පුද්ගලයා තුළ වර්ධනය කර ගැනීම වැදගත් වේ. පුද්ගලයාගේ කුඩා කළ සිට ම ඇරඹෙන බුද්ධි වර්ධනය සැලකිය යුතුය. පියාජේ දක්වන අන්දමට පරිසරයට අනුවර්තනය වීම වැදගත් කරුණකි. මිනිස් වර්ගයා මෙතෙක් අත්පත් කර ගෙන ඇති කලාව, දැනුම් සම්භාරය ආදී සියල්ල ම මිනිසා පරිසරයට අනුවර්තනය වීමේ ප්‍රතිඵලයකි. මනෝවිශ්ලේෂණවාදී සිග්මන් ෆ්‍රොයිඩ් දක්වන ආකාරයට ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ තත්ත්වයන් තුළ පුද්ගල මනසේ ස්වභාවය පෙන්නුම් කරන අතර සමාජ පරිසරය යහපත් වීම හා ඉගෙනීම තුළින් සුපර් ඊගෝ තත්ත්වයන්ට පුද්ගලයා පත් වීම සමාජය තුළ පවතින අන්තර් ගැටළු අවම කර ගැනීමට හේතු කාරකයකි.
හොවාඩ් ගාඩ්නර් දක්වන අන්දමට මිනිසාගේ බහුවිධ බුද්ධිය පිළිබඳ සිද්ධාන්තය අවධාරණය කිරීම ද වැදගත් ය. මනුෂ්‍යයා සතු චේතනාව සමඟ හෝ ඊටත් වඩා සංකීර්ණ වූ මානසික හැකියා තව කෙනෙකුටත් පැවතිය හැකි බව ඒ ඒ ක්ෂේත්‍ර වල ඉතා දක්ෂ ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙස බලන විට පෙනී යයි. මිනිසාගේ දක්ෂතා අංශ අටක් යටතේ වර්ධනය කළ හැකි බව ඔහු පෙන්වා දී ඇත. (වර්තමාන පර්යේෂණ අනුව එය ඊට වඩා වැඩිය.) වාචසික, සංගීත, තාර්කික, දෘෂ්‍ය, කායික, පුද්ගල ඇතුළාන්ත, අන්තර් පුද්ගල ලෙස එම ප්‍රධාන අංශ හඳුනා ගත හැකිය. පුද්ගලයා තුළ මෙම එක් අංශයක් පමණක් නොව සියලු අංශ දියුණු කළ යුතු බවත් ඒ තුළින් පුද්ගලයාගේ දකුණු මොළය සහ වම් මොළය ක්‍රියාශීලී වන බවත් පැහැදිලි ය. එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ පරිඝණකයට, සුහුරු දුරකථනයට සියල්ල භාර වී මොළය ක්‍රියාශීලීව තබා ගැනීම ගිලිහෙමින් පවතින බවයි.
මෙහි දී පුද්ගලයා තුළ ඇති කරගන්නා මානසික ඒකාග්‍රතාව වැදගත් කරුණකි. තම මනසට ඇති වන ආතති තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මානසික ඒකාගත්‍රාව පවත්වා ගැනීමට උත්සාහ ගත යුතුය. එදිනෙදා ජීවන චර්යාවන් මානසික සෞඛ්‍ය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බැවින් එම චර්යාවන් යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය වර්ධනයට උපකාරී වන ලෙසට හැඩ ගස්වා ගත යුතුය. මේ සඳහා යහපත් පෝෂණ තත්ත්වයන් පවත්වා ගැනීම ප්‍රමුඛ වේ. එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගන්නා අයගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳින් පවතින බව වාර්තා වී ඇත. දුම්පානය, මත් ද්‍රව්‍ය, මත් වතුර පාවිච්චියෙන් වැළකීමත් ව්‍යායාමයෙහි යෙදීමත් වර්ධනය කර ගත යුතු පුරුද්දකි. යහපත්, අවංක, සමීප මිත්‍ර සබඳකම් ජීවිතයේ ගුණාත්මකභාවය සහ සතුට වැඩි කරයි. වර්තමානයේ තාක්ෂණය දියුණුව වැඩි වීමත් සමඟ පුද්ගල අන්තර් සබඳතා අඩුවෙමින් පවතී. මේ තත්ත්වය නැති කර ගැනීම සඳහා විනෝදය සහ සතුට ලබා ගැනීමට සමූහ වශයෙන් එක්ව කරන ක්‍රියාවල යෙදීම සුදුසු වේ.
සොබා දහම සමඟ සමීප ඇසුරක් පවත්වා ගැනීම මානසික ඒකාග්‍රතාවක් පවත්වා ගැනීම සඳහා වැදගත් වන්නකි. භාවනාව ද මොළයේ පරිපූර්ණ නිශ්ශබ්දතාව ඇති කිරීමට ඉවහල් වේ. ඒ අනුව පුද්ගල ජීවන රටාව යහපත් මාවතකට ගෙන යාමට අප ගන්නා උත්සාහය තුළින් නව ලෝකය ජය ගැනීමට හැකි වනු ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ :
අබේපාල, රෝලන්ඩ්. (2015). අධ්යාපනයේ මනෝවිද්යාත්මක පදනම. සාර ප්‍රකාශන.
එදිරිසිංහ, දයා., පෙරේරා, ඥානදාස. (2017). මනෝවිද්යා විමර්ශන. වත්මා ප්‍රකාශකයෝ.
මුල්ගිරිගම, ඩග්ලස්. (2022). මානසික පීඩනය සහ කාංසාව. සරසවි ප්‍රකාශකයෝ.
තිරන්දි අමරසිංහ
තෙවන වසර
දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය