ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ රන් සලකුණ, මහැදුරු සෙනරත් පරණවිතාන

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව ලොවට ගෙන ගිය, මෙරට පහළ වූ කීර්තිමත් ම පුරාවිද්‍යාඥයා මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ‘පුරාවිද්‍යාව’ යන වචනයත් සමග කවර තරාතිරමක පුද්ගලයෙකුට වුවද වත්මනයේ පවා පළමුව සිහිපත් වන එතුමාගේ 50 වෙනි ගුණ සමරුව 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මස 04 වෙනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් පළමු ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසත්, ඉතිහාසඥයෙක්, අභිලේඛනඥයෙක්, කලාඥයෙක්, භාෂා විශාරදයෙක්, එමෙන් ම චින්තකයෙක් ලෙසත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිදුකළ මෙහෙවර ඇගයීම සඳහා මෙම ලිපිය සම්පාදිතය.

ළමා කාලය

1896 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ගාල්ලේ මැටරඹ නම් ග‍්‍රාමයේ දී සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වශයෙන් ජන්ම ලාභය ලැබූ සෙනරත් පරණවිතානයන්ගේ පියා ඒබ‍්‍රහම් පරණවිතාන වූ අතර මව ලෝරා හෙට්ටිගේ නම් විය. යටගල පන්සලේ කලහේ ශ‍්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්වාමීන්වහන්සේ විසින් අකුරු කියවීම් කළ සෙනරත් පරණවිතානයන් 1901 දී අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලට ද ඉන් අනතුරුව 1903 දී ගාල්ල උණවටුනේ බොනවිස්ටා ඉංග‍්‍රීසි  පාසලට ඇතුළත් ව අධ්‍යාපනය ලදහ. එ අතර ම, හීනටිගල රන්වල්ගොඩ විද්‍යාවර්ධන පිරිවෙනට සම්බන්ධ වී සිංහල, පාලි හා සංස්කෘත ආදි ප‍්‍රාචීන භාෂා පිළිබඳ ශාස්ත‍්‍රඥානය ලබා ගැනීම එතුමන්ගේ පසු කාලීන පුරාවිද්‍යා දිවියට කදිම අඩිතාලමක් විය.

1915 දී ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගයට පෙනී සිටි තරුණ පරණවිතානයන් ඉතිහාසය හා පුරාවිද්‍යා විෂයයන් සඳහා ලංකාවේ ගිහි පැවිදි ශිෂ්‍යයන් අභිබවා ප‍්‍රමුඛස්ථානයට පත් වූයේ ය. මෙහි දී  “සිංහල තරුණයා” නම් සංගමය මගින් ඔහු ලැබූ ජයග‍්‍රහණය වෙනුවෙන් ත්‍යාග ලෙස 1912 වර්ෂයේ ප‍්‍රකාශයට පත් “Epigraphia Zeylanica” නැමති ග‍්‍රන්ථයේ පළමු වෙඵමේ පළමු කාණ්ඩයේ පිටපතක් ලබා දුන්නේ ය. තරුණ පරණවිතානයනගේ ජීවිතය පමණක් නොව ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ගමන්මග ද වෙනස් කිරීමට සමත් වූ දෛවෝපගත ත්‍යාගයක් ලෙස එය දැක්විය හැකිය.

පුරාවිද්‍යා දෙපාර්  තමේන්තුවට සම්බන්ධ වීම

සෙනරත් පරණවිතාන මහතාගේ ප‍්‍රථම රැකියාව වූයේ ගුරු වෘත්තිය යි. අනතුරුව අභිලේඛන සහායක තනතුරේ ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැති ලිඛිත හා වාචික පරීක්ෂණයෙන් සමත් පරණවිතාන මහතා වර්ෂ 1923 දී පුරාවිද්‍යා දෙපාර්  තමේන්තුවට සම්බන්ධ වුණි. පුරාවිද්‍යාව පිළිබඳව ඉන්දියාවෙන් ලද ශිෂ්‍යත්වයක් මත 1923-26 කාලයේ දී ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීමට එතුමාට අවස්ථාව ලැබුණි. එහිදී ඉන්දුනිම්නයේ පුරාවිද්‍යා කැණීම්වලට ද සම්බන්ධ වූ එතුමාට ප‍්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ශ‍්‍රීමත් ජෝන් මාර්ශල් යටතේ කටයුතු කිරීමට ද භාග්‍යවන්ත වූහ. ඉන්දියාවේ දී ඇසුරු කළ පුරාවිද්‍යාඥයන් තුළින් ලත් දැනුම් සම්භාරය මෙන්ම අභිලේඛන විද්‍යාව‚ ප‍්‍රතිමා විද්‍යාව‚ නාණක විද්‍යාව‚ කෞතුකාගාර විද්‍යාව හා කැණීම් තහවුරු කිරීම් ආදි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ලද පුහුණුව එතුමාගේ වෘත්තීය ජීවිතය මෙන් ම ශාස්ත‍්‍රීය ජීවිතය ද ඔපවත් කිරීමට හේතු විය. මෙහිදී අභිලේඛන විද්‍යාව පිළිබඳ පුහුණුව ලබාගත්තේ ඉන්දියානු රජයේ ප‍්‍රකට අභිලේඛන පුහුණු කිරීමේ මධ්‍යස්ථානය වූ ඌටිකමන්ඩිවල පිහිටි මධ්‍යස්ථානයෙනි. අභිලේඛන විද්‍යාව පිළිබඳ ලබාගත් පරිචිය නිසා වර්ෂ 1929 දී Epigraphia Zeylanica කෘතියේ කර්තෘ පදවිය ද පරණවිතාන මහතාට හිමිවුණි. (එතුමා 1964 දක්වා එම තනතුරෙහි කටයුතු කළහ)

මේ යුගයෙහි සාමාන්‍ය ජන සමාජයෙන් බෙහෙවින් ඈත් වී තිබූ විෂයයක් වූ පුරාවිද්‍යාව ඔවුන්ට සමීප කිරීමට පරණවිතාන මහතා උත්සුක විය. ඉංග‍්‍රීසියට පමණක් සීමා වී තිබූ පුරාවිද්‍යා දැනුම සිංහල ලිපි මගින් ප‍්‍රසිද්ධ කිරීමෙන් ද ගුවන් විදුලිය ඔස්සේ කළ කථා ඇසුරින් ද ඔහු මේ කාර්යයට අවස්ථාව සලසාගන්නා ලදි. ඉතා උසස් ගණයේ මානව විද්‍යාඥයෙකු වූ හෝර්කාට්ගේ පා සෙවනේ පුරාවිද්‍යාව පිළිබඳව ගුරුහරුකම් ලැබීම නිසාම‚ ඔහු අනාගතයේ දී පුරාවිද්‍යාව පිළිබඳව උසස් සේවයක් කිරීමට සුදුසු පුද්ගලයෙකු බවට පත්විණ. ඒ නිසා ම‚ අද මෙන් මූලික උපාධි ලබාගැනීමේ අවශ්‍යතාවකින් තොරව, ආචාර්ය  උපාධිය සඳහා එවකට සුප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාල ආයතනයක් වූ  ඕලන්දයේ ලේඩන් විශ්වවිද්‍යාලයේ ජෝසෆ් ෆෝගල් නම් වූ පඬිවරයා යටතේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට හැකි විය. ඒ අනුව වර්ෂ 1936 දී එතුමා විසින් සම්පාදනය කරනු ලැබූ ‘‘ලංකාවේ ස්තූපය’’ (The Stupa in Ceylon)  නම් කෘතිය වෙනුවෙන් ලේඩන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධිය ප‍්‍රදානය කරනු ලැබීය.

පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වීම

පූර්වයෙන් සඳහන් කෙරුණු පරිදි පුරාවිද්‍යාව පිළිබඳ විශාරදත්වයක් ලබා ගැනීමෙන් පසු වර්ෂ 1940 දී පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් සෙනරත් පරණවිතාන මහතාට, දේශීය මනසක් ඇතිව ලාංකේය පුරාවිද්‍යාව පිළිබඳ කටයුතු මැනවින් මෙහෙයවීමට හැකියාවක් ලැබුණි. එනිසා මෙරට පුරාවිද්‍යාවේ ස්වර්ණමය යුගයක් සනිටුහන් විය. මෙතෙක් කාලයක් ලාංකිකයකුට හිමි නොවූ මේ තනතුර පළමුව ලද පරණවිතාන මහතා හුදෙක්ම සිය කාර්යය කාර්යාලයට සීමා නො කොට, පෞද්ගලිකව ම වැඩබිම්වලට පැමිණ කැණීම් කරන ස්ථානයන්හි නැවතී සිටිමින් කටයුතු අධීක්ෂණයේ යෙදුණි. රජරට මහ වන මැද අනේක දුෂ්කරතා විඳිමින් දුක් ගැහැට උසුලමින් එතුමන් සිදු කළේ වෙනත් කිසිදු දෙපාර්තමේන්තු ප‍්‍රධානවරයෙකු කරන කාර්යයක් නොවේ. ‘‘ඇතැමෙක් තනතුරු නිසා බැබලෙති. එහෙත් පරණවිතාන පිළිබඳව එය නොයෙදේ. පරණවිතාන නිසා තනතුර බැබලේ” යැයි මුනිදාස කුමාරතුංග මහතා ප‍්‍රකාශ කළේ එනිසා ය.

පරණවිතාන මහතා සිදුකළ මෙහෙවර

1940 සිට 1956 දක්වා වසර පහළොවකට වැඩි කාලයක් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයේ කටයුතු කළ කාලය තුළ අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, යාපහුව, කෝට්ටේ බැද්දගාන, මිහින්තලය, මහියංගනය, මැදිරිගිරිය, පඬුවස්නුවර, වෙල්ගම් වෙහෙර, තිරියාය වැනි ඓතිහාසික ස්ථානයන්හි පමණක් නොව බෝධිඝර, ආසනඝර, පටිමාඝර, බුද්ධ ප‍්‍රතිමාව, සඳකඩපහණ, මුරගල, සිතුවම් කලාව ආදි පුරාවිද්‍යා විෂය හා සම්බන්ධ නොයෙකුත් ක්ෂේත‍්‍රවල ද සිය කටයුතු මෙහෙයවීමට ඔහුට හැකි විය. පරණවිතාන මහතා ශ‍්‍රී මහා බෝධියට දකුණින් පිහිටි දාගැබ කැණීම් කොට තහවුරු කළා පමණක් නොව එතෙක් කල් බොහෝ අය විසින් එළාර සොහොන යැයි හැඳින්වුණු එම ස්මාරකය, එකී ස්ථානයෙන් ලැබුණු ශිලාලේඛනයක ආධාරයෙන් වළගම්බා රජතුමා විසින් කරවන ලද දකුණු දාගැබ යයි සනාථ කළේ ය. මිහින්තලේ හඳුනානොගත් ස්තූපයෙන් හෙළි පෙහෙළි වූ බිතු සිතුවම් සහිත ගර්භයත්, එමෙන් ම මහියංගන ස්තූපයේ කැණීම්වලින් අනාවරණය කරගත් බිතු සිතුවම් සහිත ධාතු ගර්භයත් විමර්ශනය කිරීමෙන් ලංකාවේ පැරණි බිතු සිතුවම් පිළිබඳ වූ වැදගත් කරුණු රැසක් හෙළිදරව් කිරීමට පරණවිතාන මහතාට හැකි විය. අනුරාධපුර ඉසුරුමුණි විහාරය හා මිරිසවැටිය ස්තූපය අතර තිසා වැවේ වැව් බැම්මට සමාන්තරව පිහිටි මඟුල් උයනේ නටබුන් කැණීම් කොට තහවුරු කළා සේම, එම උයන පුරාණ රන්මසු උයන වශයෙන් හඳුනාගත් ඔහු සාලිය අශෝකමාලා මුණගැසුණු ස්ථානය වශයෙන් එකී ස්ථනය පෙන්වා දුන්නේ ය.

පරණවිතාන මහතාගේ පුරාවිද්‍යා කටයුතුවල දී විශේෂ අවධානයට යොමු වූ ස්ථානය වශයෙන් සීගිරිය හැඳින්විය හැකිය. සීගිරිය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදුණු පරණවිතාන මහතා මහාවංසයේ සඳහන් වන ‘‘ආලකමන්දාවේ වෙසෙන කුවේරයා මෙන් කාශ්‍යප රජු සීගිරි ගල මුදුනේ වාසය කළා’’ ය යන්න පිළිබඳව සවිස්තර අර්ථ නිරූපණයක් සිදුකොට තිබේ. එහිදී සීගිරිය වූ කලී යුද බියෙන් හදිසියේ නිම කළ බලකොටුවක් නොව දෙවියෙකුගේ වාසභවනයක් ලෙස සිතා මතා, විශේෂ සැලැස්මක් අනුව නිම කළ බලකොටුවක් බව පෙන්වා දුන්නේ ය. සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී කියවීමට කටයුතු කළ පරණවිතාන ශූරීන් එහි කූටප‍්‍රාප්තිය ලෙස 1956 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් මුද්‍රණාලය මගින් ප‍්‍රකාශිත “සීගිරි කුරුටු ගී’’ (Sigiri Graffati) නැමති ග‍්‍රන්ථය පළ කළේය. වෙඵම් දෙකකින් යුත් මේ මහා ග‍්‍රන්ථය මගින් කුරුටු ගී 685ක් අර්ථ විවරණ, ව්‍යාකරණ, ඡන්දස් අලංකාර ලක්ෂණ සහිතව ඉදිරිපත් කෙරුණි. එමෙන්ම සීගිරි බිතු සිතුවම් පිළිබඳව අර්ථ කථනයක යෙදෙන පරණවිතානයන් සංස්කෘත මේඝදූත කාව්‍යයේ අනුසාරයෙන්, හිමවත බඳු පර්වතය සිසාරා හඹා යන විජ්ජුලතාවන් හා මේඝලතාවන් එම සිතුවම් තුළින් නිරූපණය වන බව අදහස් කරයි. පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ කාල සීමාව තුළ ප‍්‍රකාශයට පත් කළ පුරාවිද්‍යා පාලන වාර් තා ද හුදෙක් පාලන වාර් තා නොව, එම කාල සීමාව තුළ දී අනාවරණය වූ පුරාවස්තු පිළිබඳ විශ්වකෝෂයක් බඳුයයි කිවහොත් නිවැරදිය.

වර්ෂ 1956 දී පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 1957 ජනවාරි මස 01 දින ලංකා විශ්වවිද්‍යාලයේ පළමු පුරාවිද්‍යා මහාචාර්ය වරයා ලෙස එතුමා පත් විය. පුරාවිද්‍යා විෂයෙහි පමණක් නොව ඉතිහාස විෂය කෙරෙහි ද එතුමා දැක්වූයේ මහත් ලැදියාවකි. ලංකා විශ්වවිද්‍යාලය මගින් පළ කැරුණු ලංකා ඉතිහාසයෙහි (History of Ceylon, University of Ceylon) පළමු කාණ්ඩයේ සංස්කරණයට ද සම්බන්ධ වෙමින්, එහි ලිපි ගණනාවක් ලිවීමෙන් ඉතිහාසය විෂයට මහා දායාදයක් එක් කළහ.

පෙරුමියන්කුලම ලිපිය, බදුලු ටැම් ලිපිය, මන්නාරම් කච්චේරි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දීමට එතුමා සමත් විය. එඩ්වඩ් මියුලර්, ඉසෙඩ් වික‍්‍රමසිංහ යන අභිලේඛනඥයන් මුල දී කියවන ලද පෙරුමියම්කුලම ලිපිය නිවැරදි කොට කියවීමට පරණවිතාන මහතාට හැකි විය. මේ ලිපියේ එන ‘පතනගල’ යන්නත් ‘මතෙර මජිබක’ යන්නත් වරදවා තේරුම් ගෙන ඇති බව එතුමා පැහැදිලි කොට ඇත. ‘පතනගල’ යනු සංඥා නාමයක් නොව, පියංගල හෙවත් භාවනා කරන ස්ථානය යන අදහස ඇති වචනයක් බවත් ‘මතෙර මජිබක’ යනු මජිබක නම් මහතෙර නමක නොව ඇළ මාර්ගයකින් අල්ලා ගන්නා ලද මත්ස්‍ය භාගය (බද්දක්) බවත් පරණවිතාන ශූරීන් සාධක සහිතව ඔප්පු කොට ඇත. පැරණි අභිලේඛන කියවා අර්ථ විවරණය කිරීමට පරණවිතාන මහතා තුළ පැවති විශිෂ්ට කුසලතාව ප‍්‍රකට කරන තවත් කදිම නිදර්ශනයක් වන්නේ පොළොන්නරුවේ යෝධ ඇළ අසල තිබී හමුවන නිශ්ශංකමල්ල රජුගේ පුවරු ලිපිය කියවා ගැනීමය. මේ ලිපියේ කොටසක් සංස්කරණය කළ ඉසෙඩ් වික‍්‍රමසිංහ මහතා එහි එක් පැත්තක පේළි කීපයක් ද, අනෙක් පැත්ත මුඵමනින් ද අතහැර දමා, අකුරු මැකී ඇති නිසා කියවිය නොහැකි යැයි ප‍්‍රකාශයට පත් කර ඇත. එහෙත් පරණවිතාන මහතා ලිපියේ දෙපැත්තම කියවා සම්පූර්ණයෙන් ම පෙළ සකස් කොට ප‍්‍රකාශයට පත් කෙරුණි.

පරණවිතාන මහතා දීර් ඝ කාලයක් සෙල්ලිපි කියවීම හා ඒ සමග කටයුතු කිරීම නිසා සෙල්ලිපි සම්බන්ධ නව සොයා ගැනීම් සිදු කිරීමට ද හැකියාව ලැබුණි. මෙහිදී ඇතැම් පූර්ව බ‍්‍රාහ්මීය ලිපිවල බ‍්‍රාහ්මීය නොවන සංකේත ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. ඔහු විසින් මේ පිළිබඳ පළ කළ ලේඛනවල එම සංකේත 43ක් දක්වා ඇත. තවද එතුමා ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ මුද්‍රාක්ෂර පිළිබඳව ද නව මතයක් ඉදිරිපත් කෙරුණි. එස්. ලැන්ග්ඩන්, සිඩ්නි ස්විත්, ජී. ආර්. හන්ටර් වැනි වියතුන් බොහෝ දෙනෙකු ඉන්දුනිම්න රූපාක්ෂර ද්‍රාවිඩ අක්ෂර ගණයට වැටෙන බව පැහැදිලි කොට ඇතත්, පරණවිතාන මහතාගේ මතය වූයේ සංස්කෘත හෝ ඒ හා සමාන ආර්ය භාෂාවකට අයත් ලිපි මේවායේ අන්තර ගත වන බවයි. ඉන්දුනිම්න අක්ෂර පිළිබඳව 1961 දී නවදිල්ලියේ පැවැත්වුණු පුරාවිද්‍යා සම්මේලනයට පර්යේෂණ වාර් තාවක් ඉදිරිපත් කිරීමෙන් මෙතුමා ජාත්‍යන්තර කීර්තියට ද පත් විය.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් අන්තරාලීන ලිපි පිළිබඳව ද පරණවිතාන මහතා වටිනා කරුණු රැසක් හෙළිදරව් කර ඇත. ප‍්‍රසිද්ධ අන්තරාලීන සෙල්ලිපි කීපයක් ලෙස මහින්තලා පුවරු ලිපිය, පොළොන්නරු ගල්පොත ලිපිය, කිත්සිරිමෙවන් කැලණි ලිපිය ආදිය දැක්විය හැකිය. විද්වතුන් අතර ඉමහත්  තර්කවලට භාජනය වූ මෙම අන්තරාලීන ලිපි පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ එම්. එච්. සිරිසෝම මහතා සඳහන් කරණුයේ හුදෙක් ‘ශුන්‍යතා’ දෘෂ්ටියෙන් නොව ‘සාපේක්ෂ’ දෘෂ්ටි කෝණයෙන් ඒ පිළිබඳ පිරික්සීම සාධාරණ බවයි. පරණවිතාන මහතාගේ පශ්චාත් කාලීන කෘති අතර,

  • සීගිරි පවත (The Story of Sigiri)
  • ග්‍රීකයෝ සහ මෞර්යයෝ (The Greek and the Mauryas)
  • ලංකාව සහ මලයාසියාව (Ceylon and Malayasia)
  • පුරාණ සිංහලයන්ගේ කලා ශිල්ප (Arts of Ancient Sinhalese) ආදිය කැපී පෙනේ.

එතෙක් පළ නොවූ පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපි දහසකට වැඩි ගණනක් එක් කොට පරණවිතාන මහතා 1970 දී පළ කළ “ලංකාවේ සෙල්ලිපි” (Inscriptions of Ceylon Vol. I) පළමු වෙඵම මහත් ශාස්ත‍්‍ර සංග‍්‍රහයක් විය. එහි දෙවන වෙඵමේ පළමු කොටස (Inscriptions of Ceylon Vol. II, Part I) එතුමාගේ අභාවයෙන් පසු 1983 දී ප‍්‍රකාශයට පත් විය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉටු කළ සේවය වෙනුවෙන් ලංකා විශ්වවිද්‍යාලය (පේරාදෙණිය) 1952 දී ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය (ශ‍්‍රී ජයවර්ධනපුර) 1960 දී ද, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය (කැලණිය) 1962 දී ද සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් එතුමා පුදනු ලැබීය. 1972 ඔක්තෝම්බර් 04 දින සෙනරත් පරණවිතාන මහතා දිවි සැරිය නිමා කරන විට එතුමාට සැත්තෑ විය ලබා තිබුණි. එතුමා පිළිබඳ අදහස් දක්වන පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමිපාණන් පවසනුයේ පරණවිතාන ශූරීන් ‘‘විසිවන සියවසේ බිහි වූ ඉසිවරයෙකු” බවයි.

වැඩිදුර කියවීම්

පරණවිතාන සෙනරත්‚ පරණවිතාන රත්නා‚ 2001‚ පුරාවිදු පර්යේෂණ‚ විසිදුනු ප්‍රකාශකයෝ‚ බොරලැස්ගමුව.

ලීලානන්ද ප්‍රේමතිලක, 2001, පරණවිතාන චින්තනය‚ සංස්කෘතික පුරාණය – 4 කලාපය ‚ ටී. ජී. කුලතුංග (සංස්.)‚ මධ්‍යම සංස්කෘතික අරමුදල‚ කොළඹ.

 


දමිත් රණගල

කථිකාචාර්ය

ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Recent Blogs

මානසික ඒකාග්‍රතාව
March 9, 2024
Externalities and Market Failure
January 30, 2024
Swing between British and American Englishes
January 30, 2024
Decoding Cryptocurrency: Navigating the Future of Digital Finance.
January 30, 2024
Digital Vigilance: Empowering Security in the Modern World
November 27, 2023

Recent News

Faculty Publication Day – 2024
February 17, 2024
Faculty Publication Day – 2024
February 17, 2024
Blog Writing Workshop
February 13, 2024
පීඨ ප්‍රකාශන දිනය – 2023
February 13, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023

Upcoming Events