සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මනෝවිද්යාත්මක ඇසින්….
මේ එළඹ තිබෙන්නේ අටුකොටු ධන ධාන්යයෙන් පිරී ඉතිරෙන, නැවුම් මල්-පල සුවඳ පරිසරය වෙලාගත්තා වූ, බැලු බැලු අත සශ්රීකත්වයෙන් සිත්සතන් පුබුදුවාලන්නා වූ සූර්ය මංගල්යයට ආවඩන අසිරිමත් වසන්ත සමය යි. ශක වර්ෂානුකූලව නව අවුරුදු උදාව සිදුවන්නේ ව්යවහාරික වර්ෂයක පළමු මාස ත්රිත්වය ගත වී එළඹෙන බක් මාසයේ 13 හා 14 දින ද්විත්වය අතරදී ය. මේ සඳහා නිශ්චිත වේලාවක් නොමැති අතර එක් එක් වසරවලදී අවුරුදු උදාව සිදුවන්නේ එක් එක් වෙලාවන්හිදී ය. ඒ අනුව මෙවර ශක වර්ෂ 1945 හෙවත් ව්යවහාර වර්ෂ 2023 හි අප්රේල් මස 14 වන සිකුරාදා අපරභාග 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
සූර්ය මංගල්යය කන වැකුණු විටම අපගේ මනස තුළ විචිත්රවත් වන්නේ ගැමි සුවඳ තැවරුණ අවුරුදු චාරිත්ර වාරිත්ර, කෙළි සෙල්ලම්, තෙල් ඉහිරුණු කැවිලි පෙවිලි ආදිය යි. මේ වසත් සමය තුළ කුඩා පැල්පත ද මහා මන්දිරය ද භේදයකින් තොරව උත්සවශ්රීයෙන් වැජඹෙයි. සංස්කෘතිකමය වශයෙන් මෙන් ම සමාජයීය වටිනාකමක් සහිත සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්ර-වාරිත්ර, කෙළිසෙල්ලම් හා ක්රියාකාරකම් බොහෝමයක් ම මනෝවිද්යාත්මක දෘෂ්ටියෙන් ද විග්රහයට බඳුන් කළ හැකිය.
පරණ අවුරුද්දට සිදු කරන ස්නානයෙන් ම පටන් ගත්තොත්, ස්වස්ථයා යනු නිරෝගී පුද්ගලයා ය. එනම් කායික, මානසික, ආධ්යාත්මික හා සමාජයීය වශයෙන් යහපත් චර්යා හා ආකල්ප සහිත පුද්ගලයා ය. ආයුර්වේදය තුළ මෙන් ම බටහිර වෛද්යය ක්රමයේ ද ස්නානය හා ශාරීරික පවිත්රතාවය පවත්වා ගැනීම අතිශයින් ම වැදගත් කොට සලකා තිබේ. ස්නානය මගින් ශරීර පෘෂ්ටයේ ගැටුණු විෂබීජ ඉවත් කිරීම සිදුකරන අතර ශාරීරික සුවතාව ආරක්ෂා කරනු ලබයි. අතීත වැසියා මේ සඳහා ස්වභාවික ශාකසාර ඇසුරින් නිපදවාගත් නානු වර්ග යොදාගත් නමුත් වර්තමානයේ විවිධ කෘත්රිමව නිෂ්පාදිත රසායන ද්රව්යය පිරිසිදුකාරක ලෙස යොදාගනී. මේ පසුබිම මත අවම වශයෙන් පරණ අවුරුද්දටවත් නුග පත් මිශ්ර නානු ආදිය ගා ස්නානය කිරීම මගින් ආකල්පමය වශයෙන් හෝ කායිකව නිරෝගී පුද්ගලයෙකු සමාජගත කිරීම අරමුණු කොටගෙන තිබේ.
ශාරීරිකව නිරෝගීව සිටීම යනු මානසික සුවතාවයේ පැවැත්ම රැක ගැනීමයි. මිනිසෙකුගේ කය හා මනස යනු එකිනෙකට අවියෝජනීය බැඳීමක් සහිතව පුද්ගලයෙකු හසුරුවන ප්රධාන ගාමක බලවේග ද්විත්වයකී. මෙම බලවේගයන් පුද්ගල ස්වස්ථාව රැක ගැනීමට මෙන් ම නැති කිරීමට ද එකිනෙක අනුලෝම ව ක්රියා කරයි. කය හා මනස යන ද්විත්වය පිළිබඳව මිනිසා තුළ පවත්නා අල්ප දැනුම වර්තමාන සමාහජය තුළ බෝ නොවන රෝග සුලභ වීමට මූලික මෙන් ම ප්රධානත ම හේතුව බවට පත්ව තිබේ. එමනිසා පුද්ගලයෙකු මානසිකව රෝගී වීම යනු තම පැවැත්මට හානිකර ගැනීමයි. කෙසේවෙතත් ස්නානය කිරීමෙන් අනතුරුව ඕනෑම පුද්ගලයෙකුට සමස්ත ශරීරයටම මහා නිදහසක් දැනෙන අතර බොහෝවිට සිතේ පවතින ප්රශ්න පවා සුළු මොහොතකට හෝ අමතක වී යයි. එබැවින් පරණ අවුරුද්දේ දී සිදු වූ තරහමරහ, සිත් තැවුල්, මානසික බිඳවැටීම් අතහැර නව වසර සඳහා මානසිකව අලුත්ම මිනිසෙක් වශයෙන් පෙරට ඒමට අවැසි පසුබිම සකසා දීමක් මෙම චාරිත්රය මගින් සිදු කරයි.
නොනගත කාල පරිච්ඡේදය වෙත අවධානය යොමු කිරීමේදී, ව්යවහාරික වර්ෂයක අවසානය හා ආරම්භය තත්පරයක් ගතවීමෙන් සිදු වුවද ශක වර්ෂ ක්රමයේ නව අවුරුදු උදාව සහ පරණ අවුරුද්ද අතර කාලය පැය කිහිපයක් විය හැකිය. මෙම කාලය සංක්රාන්ති සමය ලෙසත්, නැකත් නොමැති කාලය හෙවත් නොනගතය ලෙසත් හඳුන්වනු ලැබේ. කෙසේවෙතත් නොනගතය යන්න අපි නිවැරදි ලෙස දෘෂ්ටිකරණය කළහොත් ඉතාම අරුත්බර කාල පරිච්ඡේදයකී. ඒ කෙසේදයත්, වෙනදට නිවසේ රාජකාරීවලට ම මැදි වූ අම්මාට, දවසට දෙපාරක් දකින තාත්තාට, පොත්පත්වලට, අමතර පංතිවලට මැදි වී තරඟකාරී අධ්යාපන මාවතක පියනඟන දුවට පුතාට පවුලේ සැම සමඟ නිදහසේ ගතකරන්නට ලැබෙන කාල පරිච්ඡේදයක් ලෙස හඳුනාගත හැකිය. පවුලක එකමුතුකම හා සහජීවනය නොමැතිකම නිසා වර්තමානයේ දී බොහෝ සමාජ මනෝවිද්යාත්මක ගැටලු අපට සුලභව දක්නට ලැබේ. යහපත් පවුල් සබඳතා සංවර්ධනය යනු සමාජ මනෝවිද්යාවට අනුකූලව සමාජයේ මෙන්ම සමස්ත රටේත් සුරක්ෂිතභාවයේ තීරණාත්මක සාධකයකී. පවුල් සබඳතා අහයපත් වන තරමට මත්ද්රව්යය භාවිත කරන්නන්, ස්ත්රී දූෂකයන්, සොරුන්, මානසික අවපීඩනයට පත්වූවන් බිහිවීමේ සීඝ්රතාවය වැඩිවීම සිදු වේ. එබැවින් මේ සංකේතාත්මක වටිනා අවස්ථාවේ මෙන්ම ඉන් මත්තටත් අර්ථාන්විත පවුල් සබඳතා ගතකිරීමට අදිටන් කරගැනීම අප සැමගේ ජීවිත තුළ ප්රීතිමත් පරිච්ඡේද ලියවෙන්නට මගහසර විවර කරයි.
ලිපගිනි මෙලවීම හා ආහාර අනුභවය වෙත යොමු වීමේදී ද සිංහල, දමිළ භේදයකින් තොරව මුළු රටක් එකාවන්ව එකම සුබ නැකතක දී ලංකාව පුරාම ලිපගිනි දල්වමින් සහජීවනයේ දෑත් විදහාපායි. මුළු රටේම කිරි ඉතිරවීම යනු සමස්ත රටට ම සෞභාග්යය උදාකර දීමයි. සමාජ මනෝවිද්යාත්මකව ගත් කල, සමාජය තුළ පුද්ගලයන්ගේ එකමුතුකම, අන්යෝන්ය අවබෝධය, සමාජ ස්ථායිතාව පවත්වා ගැනීම අතිශය වැදගත් වනු ඇත. නැකතට ආහාර අනුභවයේදී ද පවුලේ සැවොම එකම වෙලාවක, එක කෑම මේසයක මුළු රටක් සමඟ එකට කිරිබත් ඉඳුල් කරයි. මෙය පවුලක ඇති ආදරය බැඳීම දියුණු කරගන්නටත්, බිඳීගිය සබඳතා නැවත අලුත් කරගන්නටත් ලැබෙන කදිම අවස්ථාවකී. පළවෙනි කිරිබත් කට අම්මට-තාත්තට, සැමියට බිරිඳට, දුවට-පුතාට පිළිගැන්වීම තුළින් ම පවුලේ දෝරෙගලන ආදරය හා බැඳීමට නව ජීවයක් ලබා දෙයි.
අලුත් අවුරුද්ද කියන්නෙ ඕනෑම දෙයක් අලුතින්ම පටන් ගන්න, නැවුම් සිතුවිලිවලින් අනාගතයට මුලපුරන්න වපසරිය තනන්නා වූ වටිනා කාල පරිච්ඡේදය කී. වැඩ ඇල්ලීමේ නැකත ද ශුභ මුහුර්තයකට අනුව තමා කරන කාර්යයට අදාළව ශුභවාදී ආකල්පයක් සහිතව වැඩකටයුතු ආරම්භ කිරීම සිදු කරයි.මෙම චාරිත්රය ලොකු කුඩා සැවොම එකම මොහොතක සිදු කරයි.මෙමඟින් නව වසර සඳහා කායික, මානසික අභිප්රේරණයක් මෙන් ම ධනාත්මක ආරම්භයක් ලබාදීම සිදු වෙයි. වැඩ අල්ලන සුබ නැකතේදී බොහෝදෙනා අලුත් පැළයක් සිටුවීම සිදු කරයි. තම දුවාදරුවන් තුළ ද පරිසර හිතකාමී ආකල්ප ඇති කරමින් සොබාදහමේ සුවිශේෂත්වය, වටිනාකම පසක් කිරීමට ද මෙය කදිම අවස්ථාවක් වේ. පරිසර මනෝවිද්යාවේ පැහැදිලි කරන පරිදි ද ගහකොළට, සතාසිවුපාවට ආදරය කිරීම ආකල්පමය වශයෙන් සංවර්ධිත පුද්ගලයෙකු බිහි වීමට හේතුකාරණා වේ. ගනුදෙනු කිරීමේ චාරිත්රයේදී ද, ගනුදෙනු කොට තෑගි භෝග හුවමාරු කර ගැනීමෙන් අනතුරුව වැඩිහිටියන්ට බුලත් හුරුලු දී වන්දනාමාන කිරීම මගින් වටිනා සමාජ හර පද්ධතියක් ඉස්මතු වෙයි.
එමෙන්ම නෑගම් යාම ද අවුරුදු සමයේ තරහමරහ අමතක කොට නැවුම් බැඳීම් අලුත් කරන්නා වූ අංගයකී. විවාහයෙන් පසු මහගෙදරට සමු දුන්නවුන්ට ද, ගමෙන් එපිට රැකිරක්ෂාවලට පිටත් වූවන්ට ද නැවත තම දුවා දරුවන් ද සමඟ එකම නිවසකදී අම්මා තාත්තා, සහෝදර සහෝදරියො සමඟ එකට සතුටු සාමීචියේ යෙදෙන්නට මෙන් ම දුවාදරුවන්ට ආච්චි සීයා බැහැ දකින්නට, නැන්දා-මාමා, බාප්පලා පුංචිලා එක්ක කල් ගෙවන්නට ද මෙය කදිම අවස්ථාවක් වේ. නමුදු වර්තමාන වාණිජකරණය වූ ජීවන රටාව තුළ තම මව්පියන් බලන්නට නොයෑම මත දරුවන් තම ආච්චි සීයා නොහඳුනන වපසරීන් නිර්මාණය වී තිබේ. මේ තත්ත්ව මත දෙමාපියන් වැඩිහිටි නිවාසවල රැඳවීම, රැකබලා නොගැනීම, ගරු සැලකිලි නොදැක්වීම මත සමාජය තුළ පිරිහීමේ ලාක්ෂණිකයන් ස්මතු වී තිබේ. ඉදින් දසමස කුස දරා අප මෙලොවට බිහි කළ අම්මාගෙ ද මල් මාවතින් සුසැදි දිගු මාවතක පිය නඟන්නට අත්වාරු සැපයූ ආදරණීය තාත්තාගෙ ද සිත්සතන් සතුටු කරමින් ඔවුන්ගේ සෙවණට යෑම දරුවෙකු ලෙස ඔවුන්ට ලබාදිය හැකි වටිනාම ත්යාගයකී. ඒ මානසික ත්යාගය භෞතික තෑගි භෝගවලට වඩා අමිල ය.
අවුරුදු කෙළි සෙල්ලම්වල නිරත වීමද මානසිකමය වශයෙන් වයස් භේදයකින් තොරව අප සියලු දෙනාවම ප්රීතියේ ඉහළ ම නිම්තෙර වෙත රැගෙන යයි. ගමේ යෞවන යෞවනියන්ගේ සතුටු සිනා මැද පංච කෙළිය, ඔළිඳ කෙළිය, කොට්ටාපොර, කඹ ඇඳීම, අලියට ඇස තැබීම ආදී තවත් බොහෝ ක්රීඩා මෙන් ම කවි වාරම් ගයන අතර බාල මහලු සියල්ලෝම භේදයකින් තොරව රබන් වැයීම ආදී රසබර කෙළි සෙල්ලම් සමූහයක නිරත වේ. මේවා තුළින් ප්රීතිමත්භාවය මෙන් ම සාමූහිකත්වය, සහජීවනය ආදී ගුණාංග ද වර්ධනය වේ. මනෝවිද්යාවට අනුව සතුටින් සිටීම මිනිසාගේ කායික, මානසික, සමාජයීය හා ආධ්යාත්මික යනාදී වශයෙන් චතුර්විධ මනෝපරිපූර්ණත්වයට මාර්ගය විවර කරදීම සිදු කරයි.
හිසතෙල් ගෑමේ චාරිත්රය ගත්ත ද ඒ තුළින් සිදුවන්නේ මානසික ස්වස්ථාව හා කායික ස්වස්ථාව වර්ෂය පුරා පවත්වා ගන්නට අවැසි ආධ්යාත්මික පසුබිමට මානසික අභිප්රේරණයක් ලබාදීම යි. නිරෝගී වේවා, ආයුෂ වර්ධනය වේවා යි ප්රාර්ථනා කරමින් ආයුර්වේදානුකූලව නිර්මාණය කරගත් තෛලයක් හිස ගෑම මෙහිදී සිදු කරයි. කායික මානසික සුව සහනය සමඟ ම සිතුවිලි හා ආකල්ප තවදුරටත් ධනාත්මකව සවිබල ගැන්වීමක් මෙමගින් සිදු වේ. නව සඳ බැලීමේ චාරිත්රය ගත්ත ද, අතීතයේදී අපේ මුතුන්මිත්තන් විසින් ඉරහඳ දේවත්වයෙන් සලකා වන්දනාමාන කළ බව අප දන්නා කරුණකී. නමුත් එය විද්යාවන් දියුණු වත්මන් ලෝකය තුළ හාස්යජනක ක්රියාකාරකම් විදියට අප දුටුවත්, ඒ තුළ ගැබ් වී පවතින යටි හරය අවබෝධ කරගැනීම වැදගත් ය. ඉරහඳ පවතින තුරු ජීවන පැවැත්ම ස්ථීර බවත්, ඉරහඳ විනාශ වීම යනු ලෝක විනාශය බවත් විද්යාත්මකව අපි පිළිගන්නෙමු. කාර්මීකරණය වූ ලෝකයක ජීවත් වන අපට වර්තමානයේ ඉරහඳ දේවත්වයෙන් සැලකීමට තරම් හේතු කාරණා නොවුණත්, අප ආශ්වාස කරන ප්රාණ වායුව පවා නිර්මාණය වන්නේ ඉරහඳ මගින් සිදුකරන ක්රියාවලින් නිසා බව අප අමතක නොකළ යුතුය. විද්යාත්මක පසුබිමට පමණක් මූලිකත්වය ලබා දෙමින් වත්මන් පරපුර අතීත සංස්කෘතිකමය හර පද්ධතීන් වෙත හෙලන්නා වූ අල්පමාත්ර දෘෂ්ටිය, වත්මන් සමාජ වපසරිය තුළ සංයමයෙන් හීන වූ, කළගුණ නොදත්, මානසිකව නොදියුණු රොබෝවරු වන් මිනිසුන් බිහි වීමට හේතුකාරණා වී තිබේ. අපේ සමාජය පිටපොත්ත දෙස බලා ඵලයේ රසගුණ තීරණය කිරීමට යොමුව තිබීම මෙයට එක් අංශානුගත හේතුවක් බවට පත්ව තිබේ. එබැවින් මෙම චාරිත්රවල පවත්නා යටි හරය වත්මනට ගළපා ගනිමින් මතු පරම්පරාවන්ට සම්ප්රේෂණය කිරීම යුතුකමක් ව පවතී.
තවද ප්රභාලෝකමත් චන්ද්රයා දෙස බැලීම තුළින් මිනිසාට නව වසර සඳහා මනෝ අභිප්රේරණයක් ලබාදීම මෙම චාරිත්රය ඔස්සේ අරමුණු කොටගෙන තිබේ. ඒ කෙසේද යත් පූර්ණ චන්ද්රයා යනු පිරිපුන් බවේ හා පවිත්රතාවයේ සංකේතයකී. එනම් නැවුම්, යහපත් සිතිවිලි, ප්රාර්ථනා හා ආකල්ප පෙරදැරි කොට ගනිමින් මානසිකව නැවුම් මිනිසෙකු ලෙස නව වසරට මුහුණදිය යුතු බවට මිනිසා තුළ යම් පෙළඹවීමක් ඇති කිරීම මෙම චාරිත්රයේ මනෝවිද්යාත්මක පසුබිම ලෙස දෘෂ්ටිගතකරණය කරගත හැකිය.
බක් මහ අවසන අවුරුදු සිරිය කෙමෙන් කෙමෙන් පරිසරයෙන් නික්ම යනු ඇත. නමුදු අවුරුදු උදාවත් සමග සුබ නැකතින් මුව කමල පුරා ඇඳි සිනා රැලි, අලුත් මගකට යොමු කළ නැවුම් සිතිවිලි, සහයෝගයෙන් බැඳි සහජීවන දෑත්, සිත් තුළ පීදුණු සැහැල්ලුව අවුරුදු කාලයට පමණක් සීමා නොකොට මුළු වසර පුරාවට ම රඳවාගන්නට උත්සුක වන්නේ නම් මානසික සුව සහනය සමග සෑමදෙනාට ම දිවිපෙවෙත ගත කරන්නට වාසනාව උදා වේ.
මේ අනුව ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තුළ මනෝවිද්යාත්මක පදනමක් අන්තර්ගතව තිබෙන අයුරු ගම්ය වේ. එමෙන්ම සාමූහිකත්වය, අරමුණක් සහිතව එකාවන්ව කටයුතු කිරීම වැනි වැදගත් සමාජ මනෝවිද්යාත්මක කරුණු කෙරෙහි මිනිසා යොමු කිරීමට අතීත සමාජය මගින් අනාගතයට ලබාදුන් අභිප්රේරණයක් වශයෙන් අලුත් අවුරුද්ද සඳහන් කළ හැකිය. මේ නව අසිරිය පරපුරෙන් පරපුරට දායාද කරනු වස් වාණිජ්යකරණයට නතු නොවෙමින් පරපුරේ යුතුකම ඉටු කරමු.
එසේනම් පතන්නම් අවසන, ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියලු දෙනාට ම සාමය, සතුට, සෞභාග්යය සපිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!! සැමට ආවඩා ආයු බෝ වේවා!!….
මූලාශ්ර
- රාජපක්ෂ.එස්, (2020). සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳ ආයුර්වේදාත්මක දිගහැරුමක්, හෙළ අරණ ආයුර්වේද ලිපි මාලාව , 11 වන කලාපය.
- Udayanga, (2021). Cultural Understanding of ‘Spiritual well-being’ and ‘Psychological well-being’ among Sinhalese Buddhists in Sri Lanka (Research Article), Department of Sociology, Faculty of Humanities and social sciences, University of Ruhuna, Matara, Sri Lanka.
එස්.එම්.ඉෂිණි හංසිකා,
අවසන් වසර උපාධි අපේක්ෂක,
දර්ශනය හා මනෝවිද්යා අධ්යයනාංශය,
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.