Back

රෝග නිවාරණයෙහි ලා ස්වස්ථතා සංකල්පයෙහි උපයෝගීතාව

රෝග නිවාරණයෙහි ලා ස්වස්ථතා සංකල්පයෙහි උපයෝගීතාව

රෝග හැඳින්වීම

මිනිසා කෙරෙහි හටගන්නා දුඛ්‍ය සංයෝග ව්‍යාධි හෙවත් රෝග ලෙස හැඳින්වෙයි. රුජාව, වේදනාව ඇති කරන්නේ රෝගයන් ය. දෝෂයන්ගේ විෂමතාව රෝග වන අතර රෝග සමනය ආරෝග්‍ය යි. රෝග පිළිබඳ ඇතැම් වර්ගීකරණවල බෝවන රෝග (සංක්‍රමණික රෝග), බෝ නොවන රෝග (අසංක්‍රමණික රෝග) ලෙස දක්වා ඇත. උණ, පැපොල වැනි රෝග බෝවන රෝග ලෙසත් පිළිකා, හෘදාබාධ වැනි රෝග බෝනොවන රෝග ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය  නම් කරයි. කායික රෝග ඇස්, කන්, ශීර්ෂ, මුඛ, දන්ත, ඇඳුම, පීනස, දැවිල්ල, උණ, අතීසාරය, උදර රෝග, ක්ෂය රෝග, අපස්මාර, දද, කුෂ්ට, වණ, පිළිකා, භගන්දරාබාධ යනාදිය වේ. කායික රෝග පෙළ සාහිත්‍යයෙහි වැඩිපුර හමු වී ඇති අතර මානසික රෝග 44 පෙළ සාහිත්‍ය‍යෙහි ඇත. මජ්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයෙහි ඒ බව සඳහන් ය. සත්ත්ව හිංසනය, ප්‍රාණඝාතය, සොරකම, බොරුව, කේලම, හිස්වචන, පරුෂවචන, අභිධ්‍යාව, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ටි,  තද බව,  ප්‍රමාදය, සිහි මුලාව, කුසීත බව මානසික රෝගයන් ය. .

රෝග නිවාරණය

නිවාරණ යනු වැළැක්වීම යි. නිවාරණය යන්න වළක්වා ගැනීම ( Warding off ) මැඩ පැවැත්වීම ( Keeping back ) ප්‍රතික්ෂේප වීම ( Refusal ) යන අරුත්හි භාවිත වේ. පාලි-සිංහල ආකාරදිය තුළ නිවාරණ යන්න නිවාරේති, නිවාරිය යන අදහස ගෙනදෙයි. ඉංග්‍රිසී භාෂාවෙන් “Preventing” ලෙස නිවාරණය හඳුන්වයි.රෝග නිවාරණය යනු ලෙඩ රෝග සෑදීමට පෙර වළක්වා ගැනීම යි. මේ සඳහා සමාජය තුළ චර්යා මෙන් ම ආකල්පමය පරිවර්තනයක් ඇති විය යුතු ය. Prevention is better than care˜ රෝග සුවකිරීමට වඩා වළක්වා ගැනීම ශ්‍රේෂ්ටයැ යි ආයුර්වේද කියමනක් පවති. පාලි සාහිත්‍ය පුරා ඇත්තේ කායික රෝග චිකිත්සාව නොව, කායික රෝග නිවාරණ උපදේශයන් ය . නීරෝගිමත් ව ජීවත්වීමට අෂ්ට නිධි නමින් මූලධර්ම  08ක් වර්තමානයේ ද භාවිත වේ. වායුව, ජලය, ආහාර, මස්මාංස අනුභවය, පරිසරය, වාසස්ථාන, ව්‍යාමය, නින්ද, පාරිශුද්ධත්වය, වැසිකිළි-කැසිකිළි භාවිතය, සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, විවේකය  ආදිය වේ.  මෙම සාධක සහිත ව ජීවත්වන්නා හට රෝග පැමිණීම හීන ය. එම සංකල්ප නිවැරැදි ලෙස පරිහරණ කිරීමෙන් රෝග වළක්වා ගත හැකි බව ස්වස්ථතා සංකල්පයෙන් පිළිබිඹු කරගත හැකි ය.

ස්වස්ථතා සංකල්පය

ආරෝග්‍ය, ආරෝග්‍යතා, කුසල, අරෝග, අනාම, ශරීර සුව, සනීපය ආදී ලෙස ස්වස්ථතා සංකල්පය හැඳින්වීමට පර්යාය ව යෙදෙයි. සනීපය, සුවය, ආරෝග්‍යය යන වචන සෞඛ්‍ය යන්නට ගැබ්ව තිබේ.  He Who has health as hope and he who has hope, has everything “ යන අරාබි කියමනෙහි දැක්වෙන්නේ සනීපය පිළිබඳ, සුවය පිළිබඳ, ආරෝග්‍යයට අයත් යන අර්ථ ස්වස්ථතාවට සම්බන්ධ බව යි. නිසි සෞඛ්‍යයක් ඇති පුද්ගලයාට බලාපොරොත්තුවක්  ඇත්තාක් මෙන් අපේක්ෂාවක් ද ඇත.

Health is a state of  complete physical mental  and social well being and note  merely the absence of disease or infirmity (W.H.O) constitution ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව,  ස්වස්ථතා සංකල්පය ප්‍රධාන වශයෙන් කායික, මානසික, සමාජීය ලෙස කොටස් 03කි.  ඔවුන්ගේ තවත් එක් මතයක් වන්නේ ඉතා උසස් ආරෝග්‍ය තත්ත්වයක් ලැබීම සෑම මනුෂ්‍යයාගේ අයිතිවාසිකම් වලින් එකක් බවකි.සෞඛ්‍ය යන්නට අර්ථ දක්වන මොනියර් විලියම් සුභසාධනය (Welfare), සැප පහසුව (Comfort), ප්‍රීතිය (Happiness),  සෞභ්‍යය (Felicity ), රස විඳීම (Enjoyment ), අර්ථ දක්වා තිබේ .

 රෝග නිවාරණයෙහි ලා ස්වස්ථතා සංකල්පයෙහි උපයෝගීතාව

පුද්ගලයාට වැළැදෙන රෝග කායික-මානසික වශයෙන් ද්විත්ත්වයකි. කායික රෝගයන්ට මානසික රෝග සෘජු ව හා වක්‍ර ව බලපායි. විශේෂයෙන් නූතනයේ පිළිගැන්නේ වෛද්‍යවරයෙකුගේ මෛත්‍රීය සියලු රෝග නිවාරණය සඳහා වැදගත් ‍ඖෂධයක් ලෙස යි. හෘදය ආශ්‍රිත ව නිපදවෙන මෛත්‍රීය මානසික ශක්ති විශේෂයකි.

යමෙකු මෛත්‍රී විරෝධී ක්‍රියාවක නිරත වන විට ඔහුගේ පයෝදර, පෙනහළුවලට හානිකර ලෙස බලපායි. මෙවැනි රෝග සමනය සඳහා මෛත්‍රීය වැඩිය යුතු ය. රෝග බෝවන්නේ මිනිසා හා රෝග අතර ඇති ගණුදෙණුවෙනි. විවෘත ව තබන ලද තුවාලය පැසවන්නේත්, විවෘත ව තබන ලද කිරි වීදුරුව ටික වේලාවකට පසු ඇඹුල් රස වන්නේත්, ඒ තුළට විෂබීජ රිංගා ගැනීමෙනි. මිනිසාට විෂබීෂ ශරීර ගතවන්නේ ජලය‚ ආහාර, වාතය, ගස්වැල්, සතුන් මඟිනි. මෙම සාධක නිවැරදි ව පවත්වාගෙන යෑම වර්තමානයේ පවා නීරෝගීකම ආරක්ෂා වන කරුණකි.

ජලය

මිනිස් සිරුරෙන් 70% ක් ජලයෙන් යුක්ත ය. දිනකට ජල ලීටර් දෙකක් පමණ බීම අවශ්‍ය වේ. පවිත්‍රතාවය ආදී සඳහා ගත්විට ජල අවශ්‍යතාවය ජල ලීටර් 20කි. ශරීර අභ්‍යන්තර ජල ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වුවහොත් රෝගීයකු වේ. නවීන ලෝකයේ ජල ගැටළු ව නිසා ඇති වන රෝගයක් වන්නේ අතීසාරය යි. එය ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයක් වුව ද  දිනකට අවුරුදු 05ට අඩු ළමයින් 4500ක් පමණ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආයුර්වේදයට අනුව, ආහාර නොදිරවීමේ දී උණුවතුර ඖෂධයකි. උණුවතුර පානය කිරීමෙන් ආහාර ඉක්මනින් දිරවීම සිදුවන අතර උණුවතුර බීම කාය-බල වඩවයි. ආහාර ගන්නා අතර උණුවතුර පානය කිරීමෙන් ආයු වර්ධන වේ. මේ ඔස්සේ දැකගත හැකි වන්නේ ජලය‚ රෝග නිවාරණයෙහිලා වැදගත් ස්වස්ථතා සංකල්පයක් බව යි.

ආහාර

ආහාර යනු රෝග නිවාරණයෙහිලා ස්වස්ථතා සංකල්පය පිළිබිඹු වන ප්‍රධාන ම සාධකයකි. ප්‍රාණීන්ගේ මූලය ආහාර යි. බල, වර්ණ, ඕජස්, සත්ත්වයන්ගේ පැවැත්මට උපකාරී වේ. බෞද්ධ සම්ප්‍රදාය අනුව, ආහාර වර්ග 04කි. කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤාඤාණ ආහාර ලෙසිනි. ආහාරයේ ප්‍රමාණය ගැන අප නිතර සැලැකිලිමත් වන්නේ නම් බෝ නොවන රෝග බොහොමයක් වළක්වා ගත හැකි ය. අධික හෝ ප්‍රමාණවත් නොවන ලෙස ආහාර නො ගත යුතු ය. සිරුරේ ප්‍රමාණය රැකෙන්නේ ආහාරයෙනි. නිසි ආහාරයක් නොමැති නම් කායික – මානසික ස්වස්ථතා සංකල්පය පිරිහෙයි.

බුදු සමයෙහි දැක්වෙන්නේ ඒක නාම කිං? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙනි. එනම්, ආහාර ලබාගත් පසු බත් පිඩු 04ක් හිස්ව ඉඩ තබා ආහාර ගැනීම අවසන් කළ යුතු බව යි. අග්‍න්‍යාශය රෝගයන්ට ගොදුරු නො වී බොහෝ කලක් පවත්වා ගැනීමට නම්, නීරෝගී ආහාර ගත යුතු ය. ආමාශය හිරවන තෙක් ආහාර නො ගත යුතු ය. මිළින්ද ප්‍රශ්නයේ ද ආහාරයේ ගුණ දක්වා ඇත. බුදුන් වහන්සේ ද සැහැල්ලු ගුණයෙන් යුතු පලතුරු යුෂ පානයට අවසර දී ඇත. සිව්පස සංකල්පයේ ද පිණ්ඩපාත සංකල්පයෙන් දක්වා ඇත්තේ ආහාර පරිභෝජන රටාව වේ. කැඳහි ආනිසංස අනුව, ආහාර ගැනීමෙන් රෝග නිවාරණ වී ස්වස්ථතා සංකල්පය ආරක්ෂා වේ.

මස්මාංස අනුභවය

රෝග නිවාරණයෙහි ලා ස්වස්ථතා සංකල්පයේ උපයෝගිතාවෙහිලා තවත් වැදගත් සාධකයක් වන්නේ, මස්මාංස අනුභවය යි. බුදුන්වහන්සේ වෙත පැමිණි දෙව්දත් තෙරණුවන් පංචවරයේ දී  දිවි ඇති තෙක් මස්මාංස වැළැකීමට ඉල්ලා ඇත. බුදුන් එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ සෞඛ්‍යය සංරක්ෂණයට බදා ඇති වන බැවිනි. ආයුර්වේදයට අනුව, ස්වස්ථතාවය ආරක්ෂා වීමට එළුමස් අනුභවය අනුමත කරයි. විනය පිටකයේ තහනම් සම් වර්ග 10ක් දක්වා ඇත. මීනිමස්, ඇත්මස්, අස්මස්, බලුමස්, සර්පමස්, සිංහමස්, දිවිමස්, වලස්මස් ආදිය අනුභව නො කරන්නට  උපදෙස් ලබා දී ඇත.

බුදුහු වරක් ප්‍රකාශ කළේ මස්මාංස අනුභවය පර අඹුවන් සේවනයට සමාන බවකි. යම් පුද්ගලයෙකු මස්මාංස අනුභව නො කරන්නේ නම් මුං ඇට, කඩල, පරිප්පු, ආදියට හෝ හුරුවිය යුතු වේ.  පියළි දෙකට වෙන් කරන කරල් අනුභවයෙන් ස්වස්ථතා සංකල්පය ආරක්ෂා වන බව නූතන වෛද්‍ය විද්‍යාවෙන් ද පිළිගත්තකි.

පරිසරය හා වාසස්ථාන

පරිසරය හා වාසස්ථාන රෝග නිවාරණයෙහි තවත් වැදගත් අංගයකි. මිනිසාගේ  මෙන් ම, සෙසු ජීවින්ගේ පැවැත්මට යම් ආකාරයක බලපෑමක් කරණු ලබන සාධක වන්නේ, පරිසරය යි. ජීවීන්ගේ පැවැත්මට, වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට බලපාන්නා වූ බාහිර-අභ්‍යන්තර සාධකවල සමස්ථයක් ලෙස පරිසරය දැකගත හැකි ය. රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සැකැසීමේ දී පරිසරය පිළබඳ රජු විසින් ප්‍රමුඛත්වය දිය යුතු ය. වනාන්තර, සත්ත්වයන්, ගස්වැල් පිළිබඳ රජු වගකිව යුතු ය. පරිසරවේදීන්ට අනුව, ඇතිවන නූතන පරිසර ගැටළු ත්‍රිත්වයකි. හරිතාගාර ආචරණය, පෘථිවිය උණුසුම්වීම, වායුගෝලයේ ඔක්සිජන් හිඟවීම, මහාපරිමාණ වනාන්තර කපා දැමීම, ජෛව විවිධත්ත්වය අඩුවීම එම සාධකයන් ය.

බුදුන් වහන්සේ විසින් පරිසරය පිළිබඳ හිතකර ප්‍රතිපත්ති දේශනාකර ඇත. මහාවග්ගපාළියේ දැක්වෙන්නේ බෝ රුක මුල, අජපාල නුගරුක මුල, මිදෙල්ල රුක මුල, රාජායතන නුගරුක මුල සති 04 ගෙවා ඇත. බුද්ධත්ත්වය ආරක්ෂා කරගැනීමට බුදුන්වහන්සේගේ කායික-මානසික ස්වස්ථතාවය පරිසරයෙන් සුරුකී ඇත. උන්වහන්සේ ධර්ම දේශනා සදහා ස්වභාවික පරිසරය තෝරාගෙන ඇත. වායු දූෂණය, ජල දූෂණය, පාංශු දූෂණය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට ඇත. ජීවි- අජීවි සමස්ථ පද්ධතියට හානි පැමිණවීම මිනිසා ඇතුළු සත්වයන්ගේ ස්වස්ථතා සංකල්පය පරිහානියට හේතු වේ.‍

ව්‍යායාම

ව්‍යායාම රෝග නිවාරණයෙහිලා වැදගත් සංකල්පයකි. ශරීරයේ සැහැල්ලු බව, ක්‍රියාශීලිත්වය, ස්ථිර, අධිෂ්ඨානශීලි බව, දුක් ඉවසීම, ශාරීරික දෝෂ දුරුවීම, කුසගින්න වැඩිවීම, මේදය ක්ෂයවීම, ශක්තිමත් දේහයක්  ඇතිවීම, ආහාර ජීර් ණය නිසි ලෙස සිදුවීම, ස්ථුලභාවය දුරුවීම ආදී කායික ප්‍රතිඵල රුසක් ව්‍යායාම වලින් ඇති වේ.

ව්‍යායාම මෙන් ම නින්ද, පාරිශුද්ධත්වය, වැසිකිළි-කැසිකිළි භාවිතය, සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ භාවිතය, විවේකය අදියත් රෝග නිවාරණයෙහිලා ස්වස්ථතාවය ආරක්ෂා වීමට උපකාරීවෙයි.

නින්ද

අධික ලෙස නිදි සුව ලැබීම හෝ නො ලැබීම ස්වස්ථතාව විනාශ කරයි. අකාලයේ නිදා ගැනීම, අධික ව නිදා ගැනීම, මිනිසාගේ සෞඛ්‍ය ආයුෂ  අඩුවීමට හේතු වේ. බෞද්ධ සම්ප්‍රදාය අනුව නින්දට පෙර මෛත්‍රී භාවනාව කළ යුතු ය. මනසේ ක්‍රෝධය ඉවත්වීම නිසා සුවපත් නින්දක් ලැබීම, සුවසේ පිබිදීම නපුරු සිහින නොදැකීම,  ආදී ආනිසංස 11ක් ලැබේ. ගමන් වෙහෙස ඇත්තවුන් හා ක්ෂය වූ ශරීර ඇත්තවුන් දවල් නිදාගැනීමෙන් හෝ ශරීර ශක්තිය ඇති කර ගත යුතු ය.

පාරිශ්‍රද්ධත්වය

රෝග නිවාරණයෙහිලා වැදගත් තවත් ස්වස්ථතා සංකල්පයක් වන්නේ, පාරිශ්‍රද්ධත්වය යි. වෙහෙස දැමීම, දහදිය දැමීම ස්නානාය කිරිමෙන් නැති වේ. මුව පිරිසිදු කිරීම, භාජන සේදීම, ඇඳ සකස් කීරිම, ඇමැදීම, පාත්‍රය සේදීම,  දිය පිළිගන්වන විට උණූපැන් සිසිල් පැන්දීම පා සේදීම ආදී පාරිශුද්ධ කටයුතු බුදුන් වහන්සේ ද අනුමත කොට ඇත.  නිවැරැදි ලෙස වැසිකිළි – කැසිකිළි භාවිතයක් නොමැති  කමත්, රෝග බෝවිය හැකි අතර සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ භාවිතය, විවේකය ආදි කරුණු නිසි ලෙස සුරකීමෙන් ස්වස්ථතා සංකල්පය ආරක්ෂා වේ.

නිගමනය

මිනිසා කෙරෙහි ඇතිවන දුඛ්‍ය සංයෝග ව්‍යාධි හෙවත් රෝගවේ. රෝග නිවාරණය යනු රෝග වැළදීමට පෙර වැළැක්වීම යි. එබැවින්, රෝග නිවාරණයෙහි ලා ස්වස්ථතා සංකල්පය වැදගත් වේ. ස්වස්ථතාවය යනු නීරෝගීකම, ආරෝග්‍යය යනාදිය වේ.  වායුව, ජලය, ආහාර, මස්මාංස අනුභවය, පරිසරය, වාසස්ථාන, ව්‍යායාම, නින්ද, පාරිශුද්ධත්වය,වැසිකිළි-කැසිකිළි භාවිතය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, විවේකය යනාදිය  නිවැරැදි ව පවත්වා ගන්නේ නම්, රෝග නිවාරණයෙහිලා ස්වස්ථතා සංකල්පයෙහි උපයෝගිතාවය නිවැරැදි අයුරින් සිදුවන බව නිගමන කළ හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථනාමවලිය

ප්‍රාථමික මූලාශ්‍රය

අංගුත්තර නිකාය, 1960, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණය

දීඝ නිකාය, 1974 පරි. ආර් බුද්ධදාස, ලංකා ආණ්ඩුවේ මුද්‍රණය

මහාවග්ගපාලී, 1957, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණය

සිංහල මහාවංශය, 1994, සංස්: ශ්‍රී සුමංගල හිමි, කොළඹ 10, එස්.ගොඩගේ සහෝදරයෝ

සුත්ත නිපාතය, 1977, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණය

ද්විතීක  මූලාශ්‍ර

සද්ධාරතන හිමි කනත්තේගොඩ, 2022, ස්වස්ථතාවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, කැළණි විශ්වවිද්‍යාලය.

ශ්‍රී රංජන් ධර්මකීර්ති, 1997, ආයුර්වේද  හා ත්‍රිපිටකාගත ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය, කොළඹ 10, එස්.ගොඩගේ සහෝදරයෝ.

හේවාමන්නගේ විමල්, 2008, බෞද්ධ ස්වස්ථතාවය රෝග නිවාරණය හා චිකිත්සාව,  කොළඹ, සමයවර් ධන පොත්හල.

Dash Bhagwan, 1978, fandementranals of Ayurveda medicine, New Delhi

David’s T.W Rhys 1983″ A Hand book of Ayurveda medicine, New Delhi

සඳමාලී උදේශීකා දිසානායක
සහාය කථිකාචාර්ය
පාලී හා බෞද්ධ අධ්‍යයනාංශය -ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Leave A Reply

Your email address will not be published. Required fields are marked *