පාරිසරික නියතිවාදය අපට ජය ගැනීමට හැකිවේ ද?
‘ජාතික වශයෙන් සංවර්ධනය කරා එළඹීමේ ප්රවේශ මාර්ගයක් වශයෙන් විවිධ පුද්ගලයන් හෝ ආයතන විසින් නොයෙකුත් ක්රියාමාර්ග ගනු ලැබූවත් පුද්ගල මනස සංවර්ධනය කිරීමකින් තොරව එවන් සංවර්ධනයක් පිළිබඳව සිතීමටවත් නොහැක’ (මහත්මා ගාන්ධි). මිනිසාගේ ආකල්ප හා සිතුවිලිවලින් ඔහුගේ ක්රියාකාරීත්වය පිළිබිඹු වන්නා සේම එතුළින් රටක සංවර්ධනයේ පැතිකඩ ද තීරණය කරනු ලබයි. නමුදු වර්තමාන සමාජයෙන් මෙම සංවර්ධනයේ සමතුලිතභාවය පවත්වා ගැනීමට තාක්ෂණය හේතුවෙන් මිනිසා අපොහොසත් වී ඇත.
තාක්ෂණය වූ කලී විද්යාවේ දක්ෂතාවයි. ග්රීක භාෂාවෙන් “techne” යනු කලාව, කුසලතාව හා හස්තයේ ඇති නිපුණතාව මෙන්ම “logia” යනු ශිල්පීය ක්රම, ක්රමවේද හා ක්රියාවලි ලෙස අරුත් ගන්වන අතර මේ සියල්ල භාවිතයෙන් නිර්මාණය වන්නා වූ භාණ්ඩයක් හෝ සේවාවක් දක්වා ක්රියාවලිය තාක්ෂණය ලෙස හඳුන්වයි. සරලතාවයේ ආරම්භය ශිෂ්ටාචාරයන්ගේ බිහිවීම සමග සිදු වුවත් තාක්ෂණයේ ගමන් මඟ නියෝජනය කරන්නා වූ සිදුවීම් තුළ සංකීර්ණතාව නිර්මාණය විය. පාෂාණ කැබලි දෙකක ඝර්ෂණය තුළ නිෂ්පාදනය වන තාප ශක්තියෙන් ගින්දර සොයා ගැනීමත් සමග නව ශිලා යුගයේ මහත් පෙරළියක් ඇති විය. මක් නිසාද යත් ඔවුනට අවශ්ය වූ ආහාර හා උපකරණවල නිර්මාණය, සරල වූ ප්රවාහන මාධ්යයක් උදෙසා රෝදය නිර්මාණය කිරීමත් තාක්ෂණික සංවර්ධනයේ මූලික අඩිතාලම බවට පත් විය.
කාලය ගෙවී යත්ම තාක්ෂණයේ වර්ධනය මානවයාගේ ක්රියාකාරී බව, විචාරශීලී බුද්ධිය, නිපුණතා වර්ධනය පසුගාමී තත්ත්වයක් ගැනීමට හේතු විය. මෙම තත්ත්වයෙන් මානව නිර්මිතයන්ට ඇති වූ බලපෑම ජෛව ආචාරධර්මවලට අභියෝගයක් විය. විවිධ අරමුණු හමුවේ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරතෙර දුටු නව නිපැයුම් කරා සංවර්ධිත රටවල් මේ වන විටත් ළඟා වී අවසන්ය. උදාහරණයක් වශයෙන් අභ්යවකාශ ගවේෂණය, න්යෂ්ඨික අත්හදා බැලීම්, කර්මාන්ත තාක්ෂණය මෙන්ම ගොවි පල තාක්ෂණය වර්තමානයේ මානවයා අභිබවා යමින් යාන්ත්රිකරණ සේවා සපයන අංශ බවට පත්ව තිබේ. 1957 දී සෝවියට් රුසියාව පළමු චන්ද්රිකාව අභ්යවකාශ ගත කරන ලද්දේ ස්පුට්නික් 1 (Sputnik 1) යනුවෙනි. එතැන් පටන් අද දක්වා චන්ද්රිකා 6000කට වැඩි ප්රමාණයක් අභ්යවකාශ ගවේෂණයේ දත්ත රැස් කරන්නන් බවට පත් වී ඇත. එසේම පැයට කිලෝමීටර් 2700ක වේගයක් හා කිලෝමීටර් 1000ක ප්රහාරක සීමාවක් සහිත Mig-35 වැනි ප්රහාරක ජෙට් යානා නිර්මාණය විය. සියල්ල අවසන ලෝකයේ තාක්ෂණික ඥානය වැඩි වශයෙන් භාවිතට ගනු ලබනුයේ මිනිසා යන සත්ත්වයා පරිසරයේ ජීවත් කරවීමට වඩා විනාශ කරලීමටය. වර්තමාන ගෝලීය දේශපාලනික ගැටුම් හමුවේ ලොවක් දිනා ගත් දේට වඩා අහිම්කර ගත් දෑ බොහෝය. අසීමිත බල ලෝභය හා දියුණු වන තාක්ෂණික සංවර්ධනයන් හමුවේ වුව ද මිනිසා පරිසරය හා අන්යෝන්ය වශයෙන් පවත්නා සම්බන්ධතාව මොහොතකට අමතක කර දමා ඇත. එය පාරිසරික නියතිවාදය (Environmental determinism) ලෙස හඳුන්වයි.
19 හා 20 වන සියවස්වල දී පාරිසරික සාධක තුළින් මානවයාගේ හා මානව සංවර්ධනයේ කටයුතු උදෙසා බලපෑම් සිදුවන බව ජර්මන් ජාතික භූගෝල විද්යාඥයකු වන ෆෙඩ්රිච් රැට්සල් (friedrich Ratzel) ඉදිරිපත් කළේ ය. එය ජීවී පරිසර පද්ධතීන් මානව සම්පතේ ජීවය පවත්වා ගැනීමට අන්යෝන්ය වශයෙන් බැඳි පවත්නා බව ඔහු පෙන්වා දුනි.
විසිවන සියවසින් පසු බෙහෝ සෙයින් මතවාදයට තුඩු දුන් මෙම සංකල්පය සම්පූර්ණ ලෙස නොසලකා හැරීමට ලක් විය. එහි ප්රතිඵලය වූයේ විඩාල් ඩී ලාබ්ලාෂ් (vidal de la blach) විසින් පාරිසරික ශක්යතාවාදය (Environment possibilism) ගොඩ නැගීමයි.
මිනිසාගේ සංවර්ධනයෙන් (මිනිස් තීරණ) ස්වාභාවික පරිසරය වෙනස් කළ හැකිය යන සංකල්පය නියතිවාදී මතයන්ට ප්රතිගාමීව මොහු විසින් ඉදිරිපත් කරන ලදී (cloke et al ,1991). ප්රාදේශීය හෝ කාලගුණික වශයෙන් නොවූවත් භූමියේ යන සාධකයේ පවතින හිඟතාව නිසාත් මිනිසා විසින් භූගෝලීය සාධක මහත් සේ පාලනය කිරීම සිදු කරනු ලබයි. මෙය නම් පාරිසරික ශක්යවාදයයි (febvre in Johnston et al, 2000). මානවයාගේ පැවැත්ම හා ඔවුන්ගේ හැකියාව (ශක්යතාවය) නිදහස් සිතුවිලි හා ක්රියාකාරකම් මත ඔවුන්ගේ දෛවය ඔවුන් විසින්ම පාලනය කරනු ලබයි (cloke et al,1991).
උදාහරණයක් වශයෙන් සීමිත ඉඩකඩක නගර සංවර්ධනය සදහා ගොඩබිම මෙන්ම සාගරය ද භාවිත කළ ඩුබායි නගර සංවර්ධනය ඒ හා සම ලක්ෂණ දක්වන කොළඹ වරාය නගර සංවර්ධනය වැනි නගර ස්ථාපිත කිරීම පෙන්වා දිය හැකිය. සංවර්ධනයේ දී පාරිසරික බාධාවන් බාධකයක් කොට නොගත් මිනිසා කාන්තාරයන්හි පවා කෘෂි අස්වනු නෙලා ගත්හ. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල භූමියෙන් 80% ක් පමණ කාන්තාරීකරණයෙන් වසා ගනු ලැබූව ද අද වන විට ලෝකය පුරා කෘෂි නිෂ්පාදන ආනයන කරුවෙකු බවට එම රටවල් පත්ව ඇත්තේ කාලගුණික දේශගුණික තත්ත්වයන් අභියෝගයට ලක් කරමිනි. මෙම කලාපයේ එනම් GCC රටවල (Gulf Cooperation Council) කෘෂි නිෂ්පාදනවලින් 59.60% කට හිමිකම් කියනු ලබන්නේ සෞදි අරාබියයි. කෙසේ වුවත් මිනිසා තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා යොදවන දීර්ඝ කාලීන ප්රතිඵල තුළ නියතිවාදයට හිස නැමිය යුතු අවස්ථා ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද හඳුනාගත හැකි වේ.
1812 මැයි මස නැපෝලියන් රුසියාවට විරුද්ධව යුද්ධ ආරම්භ කරත්ම එරට පැවති අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් ඔහු සටන පරාජය විය. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙදී එනම් 1943 මුල් භාගයේදී ශාන්තිකර නගරයේ දුපත්වලදී ජපන් හමුදාව පරාජය වීමට කාලගුණය වැදගත් සාධකයක් විය. ඔවුනට ශීත කාලය දරා ගැනීමට නොහැකි විය. ඉතිහාසය ලිවීමට පටන් ගැනීමෙන් පසු ගත වී ඇති කෙටි කාලයෙහි මිනිසා කෙරෙහි වු කාලගුණයේ බලපෑම තාක්ෂණික බලවේගයකින් පාලනය කිරීමක් සඳහන් වී නොමැත (Homes, 1980).
එමෙන්ම නිරන්තරයෙන් හට ගන්නා ස්වාභාවික ආපදා තත්ත්වවලින් ආරක්ෂා වීමට, එම තත්ත්ව වළක්වා ගැනීමට හැකි මාර්ගයක් කෙතෙක් දියුණු තාක්ෂණයක් හමුවේ වුවද නිර්මාණය කර ගැනීමට මිනිසා අපොහොසත්ය. ගිනිකඳු විදාරණය වීම, නාය යෑම්, සුළි සුළං, ගං වතුර, භූමි කම්පා, නියඟය, ලැව් ගිනි ආදී ස්වාභාවික ආපදා තත්ත්ව ලෝකයේ නිරන්තරයෙන් බහුල වශයෙන් වාර්තා වන ආපදා තත්ත්ව වේ. 1748 දී දකුණු ඉතාලියේ පිහිටි පොම්පෙ නගරය ඉතා සංවර්ධිත නගරයක් විය. නමුදු විසුවියස් ගිනිකන්දේ විදාරණයත් සමග සැතපුම් 20 ක් පමණ දුර ගලා ගිය ලාවා මුළු නගරය පුරා ව්යාප්ත වෙමින් නාගරික පදිංචිකරුවන් 10000කට වඩා වැඩි පිරිසක් අළු මත සඟවා ගන්නට වැඩි කාලයක් ගත නොවීය. කොතරම් හානි දායක වුවද වර්තමානය වන විටත් මෙම ගිනිකන්ද සක්රීය ගිනිකන්දක් ලෙස ඉතාලි වැසියන් භීතියට පත් කරන්නේ තාක්ෂණයේ දියුණුම අවදියකදීය.
වර්තමානයේ අප විසින් පාරිසරික නියතිවාදයට හිස නමන කාරණය වනුයෙ covd -19 වසංගත තත්ත්වයයි. ලොව බලවතුන් ලෙස කිරුඵ දරා සිටි රාජ්යයන් පවා ජීවිත් වන්නට මොහොතක්, ප්රාණය රකින්නට හුස්ම පොදක් අයදින්නට වූයේ තාක්ෂණය, මුදල් හා බලය නිරර්ථක වූ කල ඒ සියල්ල අත හැර දමමිනි. මිනිසා විසින් පරිසරය අභිබවා ගිය ගමනේ අඛණ්ඩ ක්රියාකාරීත්වය මෙන් ම පාරිසරික අසමතුලිතතාව සොබාදහම විසින් සමබර කරනු ලැබුයේ ලොව සමස්ත කාර්යයන් මොහොතකට නවතා දමමිනි. පරිසර විද්යාඥයන් මේ වන විට අනාවරණ කරනුයේ ලොවපුරා පරිසර දූෂණය පෙර වසරට සාපේක්ෂව 25% ත් 60% ත් අතර ප්රමාණයකින් අඩු වී ඇති බවයි. උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්රදේශවාසීන්ට වසර 30 කට පසුව සිය නගරයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි හිමාල කඳුවැටිය දැකබලා ගැනීමට හැකි වී ඇත්තේ ද ඉන්දියාවේ වායු දුෂණය අවම මට්ටමක පැවතීම හේතුවෙනි.
අප සිටින්නේ කොතැනක ද? අප දිනා ඇත්තේ මොනවා ද? අප තව තවත් එකිනෙකා පරදා දිනා ගැනීමට උත්සහ කරන්නේ මොනවා ද? අපගේ ප්රාණය මේ මිහිකත උදුරා ගන්නා තෙක් අපි තරග කරමු. ඒ භෞතික සම්පත් ළඟා කර ගැනීමට නොව මිහිතලය තුළ සියලු මිනිසුන්ගේ ප්රාණය ආරක්ෂා කර ගැනීම උදෙසාය. පාරිසරික නියතිවාදයට ගරු කරමින් තම ජීවිතය ගත කළ ගෝත්රික ජන කණ්ඩායමක් වූ රතු ඉන්දියානු ජාතික සියැටල් වරක් ප්රකාශ කරනුයේ සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට අපට අයිතියක් නොමැති බවයි. සියලූ ගහ කොළ, ඇළ දොළ, සතා සිවුපාවුන් විනාශ වී ගිය කල මුදල් ආහාරයට ගත නොහැකි බව මිනිසා පසක් කොට ගන්නා බවයි.
නියතිවාදයට එහා යමින් තාක්ෂණයේ ඉදිවෙන නව නිපැයුම්වල ගෝලීය වශයෙන් සංවර්ධනයක් නැතුවාම නොවේ. අභ්යවකාශගත චන්ද්රිකා මගින් විශ්වය අධ්යයනය ද ජීවීන්ට හිතකර නව ග්රහලෝක සොයා ගැනීම, භූ ගර්භ අධ්යයනය ආදිය මෙකී තාක්ෂණයේ යහපත් වූ ප්රතිඵලයන්ය. නමුදු ගෝලීය පාරිසරික ගැටලු හමුවේ ගැටලු නිර්මාණකාරකයක් බවට පත් වී ඇත. මන්ද යත් එකී ගැටලු විසඳා ගැනීමට හෝ පාලනය කිරීමට හෝ විකල්පයන් සොයා ගැනීමට තාක්ෂණයට නොහැකි වී ඇත.
අප කෙසේ කුමන මාර්ගයක අධ්යයනය කළ ද සංවර්ධනය යන තේමාවේ හරයෙන් සංවර්ධනය දකින්නේ ද යන්න වර්තමානයේ ගැටලුවක්ව පවතී. නවීන තාක්ෂණික අත්දැකීම් හමුවේ කෙතෙක් වාසි අත්කර ගත්තද සොබා දහමේ නියමයන්ට මිනිසා අවිවාදයෙන් යටත් විය යුතු වග වර්තමානයේ සිදුවෙමින් පවතින ස්වාභාවික ක්රියාවලී හරහා මිනිසාට වරින් වර සිහි කැඳවීම් කරනු ලබයි. දිනෙන් දින සීඝ්රයෙන් වර්ධනය වන මානව සම්පත හා ඊට සමගාමීව පුද්ගල හැකියා, දක්ෂතා හා නව නිපැයුම් තුළින් ලෝකය ජය ගැනීමට මිනිසාට හැකි වුවත් පාරිසරික නියතිවාදය ජය ගැනීමට අපි තවමත් අපොහොසත් වී ඇත්තෙමු.
මූලාශ්ර:
- කැප්ටන් හෝම්ස්, කාලගුණය පැහැදිලි කිරීම., මාර්ග ආයතනය (පරිවර්තය)., ඩේවිඩ්. C., Weather Made Clear, ස්වශක්ති මුද්රණාලය, කොළඹ 05, 1980.
- P. Cloke, et al, Approaching Human Geography: an introduction to contemporary
- theoretical debates. London, 1991
- R.Johnston, et al, The Dictionary of Human Geography, 4th edition, Cambridge, Blackwell Publication,2000.
- http://journals.sagepub.com/doi/abs/10.1177 /030913259301700118
- http://geography.ruhostion.nl/geography/index.php?title=Possibilism
- https://efl.lk/covid_19_and_environmental_balance_sinhala/
- https://www.businessgreen.com/news/4015909/reports-china-scraps-clean-coal-list-projects-eligible-green-financing
ඩී. කේ. ඩී. ඒ. රණවීර
භූගෝලවිද්යා අධ්යයනාංශය