ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දනය සහ අන්තර් සංස්කෘතිය සන්නිවේදනය

සමාජ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පදනමකින් යුක්තව  සංස්කෘතිය පොදුවේ නිර්වචනය කරනු ලබන ඊ. බී. ටයිලර් විසින් එය අර්ථ දක්වන්නේ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිළි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් සහ මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන ආකාරයක හෝ පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තය වශයෙනි ( Tylor ,1982) . මේ අනුව සංස්කෘතිය යනු ආරම්භයේ පටන් නවමු ස්වරූපයකින් ඉදිරියට යමින් වෙනස්වීම් වලට නතුවෙමින් ඉදිරියට ගමන් ගන්නා මානව අගනාකම්  හා වටිනාකම් වලින් යුත්  සංකීර්ණ සමුච්චයකි.

 

 

ක්‍රමයෙන්  සංස්කෘතිය  සන්නිවේදන මාධ්‍යන් හා මුසුවීමත් සමඟ තව තවත් සංකීර්ණ වීමටත්  අන්‍යෝන්‍ය වශයෙන් ගෝලීයකරණය තුළ විවිධාංගීකරණයන්ට ලක්වීමත් පටන් ගති.ලෙවින්ට අනුව ජනමාධ්‍යන්ගේ ස්වභාවය ඔහු මෙසේ පැහැදිලි කරයි.

“සත්‍යය වසන් කරන්නේද අසත්‍යය ප්‍රතිනිර්මාණය කරන්නේද බොහෝවිට දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කිරීමෙහිලා පැහැදී සිටින, ව්‍යාජනයෙහි නිරත පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍ය සංස්කෘතියයි”  ( Levitin, 2017).

සංස්කෘතිය විසින් මාධ්‍ය සහ සන්නිවේදන ප්‍රවණතා මූලික කොට ගැනීම නිසා සාම්ප්‍රදායික සංස්කෘතියේ සිට ජනප්‍රිය ගෝලීය සංස්කෘතිය යනාදී වශයෙන් වන සංස්කෘතික ප්‍රවර්ග පොදුවේ බිහිවීමත්, සංස්කෘතිකමය සංකීර්ණතා වර්ධනය වීමත් සිදුවේ. මෙවැනි විවිධාංගීකරණය වූ සංස්කෘතික පසුබිමක් තුළ මානව ක්‍රියාකාරීත්වය සහ අවබෝධය, සංස්කෘතික වෙනස්වීම්, සංස්කෘතික ලක්ෂණ සහ ක්‍රියාකාරකම් නිවැරදිව ග්‍රහණය කරගැනීමෙහිලා අන්තර් සංස්කෘතික සන්නිවේදනයෙහි අවශ්‍යතාවය ඇතිවේ. අන්තර් සංස්කෘතික සන්නිවේදනය හෙවත් අන්තර් සංස්කෘතික අධ්‍යයනය යනු, මිනිසාව තමා අවට ලෝකයට හැඩ ගස්වා ගැනීමට අනුවර්තනය කිරීමට උපකාර වන්නාවූ ප්‍රධාන මෙවලමකි. මූලික වශයෙන් අන්තර් සංස්කෘතික සන්නිවේදනය , සන්නිවේදන ක්‍රියාවලියට සහභාගි වන්නාවූ විවිධ වූ සංස්කෘතික පාර්ශවයන් අතර හුවමාරු වන අන්‍යෝන්‍ය අවබෝධයක් බවට පත් වේ.  එම අවබෝධය හේතු කොටගෙන ඒ ඒ පාර්ශව අතර සිදුවන්නාවූ සංස්කෘතික, චර්යාත්මක හැසිරීම් රටා අවබෝධ කරගැනීමට ආකල්ප ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. එහිදී භාෂාවට ප්‍රධාන ස්ථානයක් හිමිවේ. උදාහරණයක් ලෙස කොරෝනා වසංගත තත්ත්වය තුළ ජාතික වශයෙන් සංස්කෘතීන් අතර ඇතිවුණු භාෂාත්මක සහ සංස්කෘතිකමය විවිධත්වයකින් යුත් සන්නිවේදනය අන්තර් සංස්කෘතික දෘෂ්ඨිකෝණයක් ඔස්සේ අධ්‍යයනය කිරීම  දැක්විය හැකිය.

අන්තර් සංස්කෘතික සන්නිවේදන අධ්‍යයනය ,  විවිධ සංස්කෘති පිළිගනිමින් ඒවා දරාගනිමින් ජීවත් වන මිනිසාගේ සංස්කෘතික ප්‍රකාශන කියවා ගැනීමට අපට බලකරයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇතිවූ දින සිට ඒ සම්බන්ධයෙන් සමාජ දැනුවත්භාවය  අඛණ්ඩව තබා ගැනීමට සන්නිවේදනය මැදිිහත් වන ආකාරය අන්තර් සංස්කෘතික සන්නිවේදනය අනුව යමින් විමසා බැලිය හැකිය. භාෂාව හා සංස්කෘතිය ඉලක්ක කොටගෙන තොරතුරු සන්නිවේදනය කිරීමේදී අන්තර් සංස්කෘතික සන්නිවේදනය සම්බන්ධව අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. එහිදී භාෂාත්මක සහ සංස්කෘතික වපසරියක සිට අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත යුතුය.

අන්තර් සංස්කෘතික සන්නිවේදනය පිළිබඳ ව සැලකිලිමත් වීම හා සාවධාන උනන්දුවක් දැක්වීම පිළිබඳ කතා කරන විට බහුවාර්ගික රටක් වන ශ්‍රී ලංකාවේ  ජනවාර්ගිකයන් හට සන්නිවේදනය කිරීමේදී  අනන්‍ය වූ භාෂාව පිළිබඳ මනා අවබෝධයකින් යුක්තවීම සහ ඊට අදාළව නිවැරදි ව පණිවුඩය ඉලක්ක ගත කිරීම ඉතා වැදගත් වනු ඇත. තොරතුරු හුවමාරුව, දුරකථන ඇමතුම් ගැනීමේදී ස්වයංක්‍රීයව හඬ පටි, සංඥා සංකේත හා  දැන්වීම් පුවරු, අන්‍යෝන්‍ය කතාබහ ආදියේදී අන්තර් සංස්කෘතීන් වලට නිවැරදි ආකාරයෙන් සන්නිවේදනය කිරීම් කොවිඩ් සමය තුළ සිදුකෙරිණ .

වසංගතයෙන් බේරී සිටීමට, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට, රෝගයට නිරාවරණය නොවීමට මෙන්ම වසංගත යේ පැතිරීම් ශීඝ්‍රතාවය, ආසාධිත සංඛ්‍යාව, දෛනික මරණ ප්‍රමාණය, සුවය ලබා රෝහල් වලින් පිටව යන පිරිස් පිළිබඳ තොරතුරු යනාදී වූ තොරතුරු යාවත්කාලීන කරමින් කිසිදු ජාතියකට පමණක් විශේෂිත ‌නොවන අයුරින් මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ කාර්යයේදී විශේෂයෙන් භාෂාව  පිළිබඳ පොදුවේ අවධානය යොමු කර තිබීම වැදගත් වේ.

ලංකාවේ බොහොමයක් වූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් , සුපිරි වෙළඳසැල්, ආගමික සිද්ධස්ථාන සහ මහාමාර්ග වල වසංගත තත්ත්වයෙන් ජනතාවට ආරක්ෂා වීම සඳහා වැදගත් වන පණිවුඩ දැන්වීම් පුවරු ආශ්‍රය කොට ගනිමින් ප්‍රදර්ශනය කොට තිබීම කැපී පෙනේ. එක් භාෂක සමාජයකට පමණක් නොව පොදුවේ සියල්ලන්ට ම කියවිය හැකි වන අයුරින් ප්‍රදර්ශනය කර තිබීම අන්තර් සංස්කෘතික සන්නිවේදනය ඔස්සේ හඳුනාගත හැකිය. උදාහරණ ලෙස පොදු උපදෙස් (දෑත් සෝදා ඇතුලු වෙන්න. මුව ආවරණ පළඳින්න, මීටරයේ දුර පවත්වා ගන්න) යනාදිය භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් කොට තිබීම කැපී පෙනේ. එමෙන්ම මහාමාර්ග දෙපස, පදික වේදිකා සහ මාර්ග සංඥා අසළ ‘ මීටරයක දුරෙන් ඉන්න’  වැනි උපදෙස් එකම පුවරුවක භාෂා ත්‍රිත්වයෙන්ම නිරූපණය කොට තිබීම පෙන්වා දිය හැකිය. මේ අනුව සලකා බැලීමේදී භාෂාව සම්බන්ධයෙන් ඉතා සියුම් කුඩා තොරතුරු දැනුවත් කිරීම උදෙසා බහු ආගමික ප්‍රජාවකට පොදුවේ ඔවුන්ට තොරතුරු ගලනය වන ආකාරයෙන් භාෂා ත්‍රිත්වයම හැසිරවීම අන්තර් සංස්කෘතික අධ්‍යයනය තුළ අපගේ කැපී පෙනෙන අවධානයට ලක්විය යුතුය.

 වෙනස් භාෂක සමාජ දෙකක් අතර අන්‍යෝන්‍ය අවබෝධය මේ කාලයේදී ගොාඩනඟා ගන්නේ කෙසේද සම්බන්ධයෙන් අන්තර් සංස්කෘතික සන්නිවේදන අධ්‍යයනය තුළ අවධානය යොමු වී ඇත. විශේෂයෙන් කොරෝනා තත්ත්වයත් සමග භාෂාත්මක මුහුවීම් ද දැකගත හැකිය.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මතු කළ ආගමික කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේදී පිරිත් පැන් පිරවූ වතුර කල ගඟට අත්හැරීම සංස්කෘතිකමය සන්නිවේදනයක් ලෙසින් ගත හැකිය. එමෙන්ම පොදුවේ එය ආගමික පසුබිමක ලා ජනමාධ්‍ය ඔස්සේ සන්නිවේදනය වූ එම සිදුවීම් අන්තර් සංස්කෘතික සන්නිවේදනයේදී වැදගත් වනවා සේම එය බහු සංස්කෘතික පරිසරයකට සන්නිවේදනය වන ආකාරය සම්බන්ධයෙන් ද විචාරාත්මක ව අධ්‍යයනය කළ හැකිය. කොරෝනා මැඩලීම වෙනුවෙන් එක් සංස්කෘතික පාර්ශවයක් පමණක් සිදු කළ චාරිත්‍ර වාරිත්‍ර, දේව මෙහෙයන් හා පූජා කටයුතු පමණක් නොව අනෙකුත් ආගම් විසින් වසංගතය මැඩලීම උදෙසා කටයුතු කළ ආකාරය ද මෙහිදී පෙන්වාදිය හැකිය. එමෙන්ම කොවිඩ් 19 මළ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම පිළිබඳ ව ජනමාධ්‍ය මූලික කොටගනිමින් සන්නිවේදනය වූ තොරතුරු සලකා බැලීමේදී  පෙනී ගියේ රෝග ව්‍යාප්තියෙන් තොරව මළ සිරුරු භූමදාන හෝ ආදාහන කිරීමට වඩා සංස්කෘතික හා ආගමික වශයෙන් වූ බෙදීම් ඉස්මතු වූ බවයි.

 ඒ අනුව අන්තර් සංස්කෘතික සන්නිවේදනය තුළින් එක් එක් සංස්කෘතික ප්‍රවේශයන්හී ස්වභාවය සහ ඒවායෙහි අවස්ථානුකූල හැසිරීම අධ්‍යයනය කිරීම මගින් අන්තර් සංස්කෘතික සන්නිවේදනය හා සම්බන්ධ සාකල්‍යවාදී ප්‍රවේශයන් රැසක් හඳුනාගැනීමටත් හැකියාව ලැබේ. ඒ ඔස්සේ අන්තගාමී නොවූ බහු සංස්කෘතික සමාජයක් උදෙසා මූලබීජ ගොඩනැගෙනු ඇත.

 ආශ්‍රිත ග්‍රන්ථ

Levitin D.J., (2017). Weaponized lies: How to think critically in the post truth era, Penguin Canada. Line and Leading for newspaper type. Journal of Applied Psychology.Vol.47.

 Tylor E.B- 1871( 1982). Primitive Culture, London.


සඳුනිකා රත්නායක
සහය කථිකාචාර්ය
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය

Recent Blogs

මහාචාර්ය ඇම්.එච්. ගුණතිලකයන්ගේ වියෝවෙන් අතරමං වූ සාම්ප්‍රදායික දේශීය කලාව
August 5, 2022
නූතන අපරාධවිද්‍යාත්මක උප විෂයන්
August 5, 2022
ශුභඵල දෙන වාස්තුදේවතාවෝ (මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍රය ඇසුරිනි)
August 5, 2022
Health is the Greatest Wealth
August 5, 2022
Alcohol only a violent drink, not a social drink
July 5, 2022

Recent News

Faculty of Humanities and Social Sciences hosted the first ‘Faculty Publication Day 2020′
June 5, 2021
Lankan English or Lankanizing English
June 2, 2021
මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ වර්තමාන අභියෝග
June 2, 2021
පීඨ ප්‍රකාශන දිනය – 2021
June 2, 2021
පීඨ ප්‍රකාශන දිනය 2020 – නිර්මාණ සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ
August 31, 2020

Upcoming Events