ආධ්‍යාත්මික හිඩැස‍, මානව චර්යාව හා ආධ්‍යාත්මික හිඩැසින් මිදීම

නූතන මනෝසමාජීය පරිසරය දෙස විමර්ශනාත්මකව බැලීමේ දී පෙනී යන කරුණක් නම් පුද්ගලයා නිරන්තරයෙන්ම ආධ්‍යාත්මක වශයෙන් හිඩැසකට ගොදුරු වී ඇති බවයි. පුද්ගලයාගේ සෞඛ්‍ය කායික, මානසික, හා ආධ්‍යාත්මික වශයෙන් අංශ තුනකි. නූතන මනෝවිද්‍යාවත්, කායික විද්‍යාවත්, බුදු දහමත් පිළිගන්නා පොදු සත්‍ය වන්නේ මෙම ප්‍රපංචයන් තුන එකිනෙකට සබදතාවකින් යුක්ත බවයි. ඒ අතරිනුත් ආධ්‍යාත්මිකත්වය ප්‍රමුඛත්වයෙහිලා සලකයි. මෙවැනි පසුබිමක් තුළ පුද්ගලයා තුළ ආධ්‍යාත්මික වශයෙන් ඇතිවන හිඩැස හෙවත් රික්තකය මානව චර්යාවට බලපාන ආකාරය හා එයට විසදුම් ලෙස ආධ්‍යාත්මික මනෝවිද්‍යාව ආවරණය වන පරිදි මෙහි සාකච්ජා කර ඇත.

පුද්ගලයාට තමාගේ ජීවිතය පිළිබද එපාවීමක් නැතහොත් කළකිරුණු ස්වභාවය අභිමුඛව තම ජීවිතයේ කිසිම තේරුමක් නැතැයි අවසානයේ දී මිනිසාට පෙනීයාම හේතුවෙන් ඇතුළත හිස්බව අත්දැකීමෙන් තෝන්තුවන මිනිසාට තම තමන්ම එපාවීම, ආධ්‍යාත්මික හිඩැස ලෙස හදුනාගත හැකිය. එහි දී ආධ්‍යාත්මික හිඩැස සියලු පුද්ගලයන්ට දරාගත නොහැකි අවදානමකි. මෙම ව්‍යාකූල තත්ත්වය හෙවත් විකෘති තත්ත්වයේ දී අප විසින් සැබෑ ලෝකයෙන් ඔබ්බට ගොස් ජීවිතයට අර්ථයක් සහ අරමුණක් සොයා ගැනීමට මහත් වූ පරිශ්‍රමයක යෙදෙයි. මෙම සංකල්පය මත පුද්ගලයාගේ ජීවිතයේ  බිඳ වැටීම, විනාශය මෙන්ම ඇතැම් අවස්ථාවල දී ජීවිතයේ ජයග්‍රහණ හා සාර්ථකත්වය ද තීරණය විය හැකිය. එසේම මේ තුළ මානසික රෝගී ලක්ෂණ, අසාමාන්‍ය චර්යාවන් හා නිස්සාධනීය චර්යාවන් ප්‍රකට වෙයි. පුද්ගලයෙකු මානසික වශයෙන් ලබන නිදහස, ධනය, බලය හෝ කීර්තියට වඩා බෙහෙවින් වටිනේය. එබැවින් ආධ්‍යාත්මික හා කායික සුවපත්බව සඳහා ආධ්‍යාත්මික හිඩැස නම් වූ ගැටලුව සමග පොරබැදීමට මිනිස් වර්ගයාට සිදු වේ.

ආධ්‍යාත්මික හිඩැසින් මිදීමට විසදුම් වශයෙන් වඩාත් වැදගත් වන්නේ ආධ්‍යාත්මික මනෝවිද්‍යාවට නැඹුරු වීමයි. එය ආධ්‍යාත්මික හිඩැසින් මිදීමේ මාර්ගයයි. ආධ්‍යාත්මික හිඩැසින් මිදීමට අවශ්‍ය මූලික පසුබිම සකස් වන්නේ තම ජීවිතයට අර්ථවත්භාවයක් සහ ආධ්‍යාත්මික වශයෙන් පූර්ණත්වයක් ලබා ගැනීමෙනි. එසේම මෙහි දී ජීවිතයේ ගැටලුකාරී, පීඩාකාරී තත්ත්වයන් තුළ තම ජීවිතයට අර්ථවත්භාවයක් එක් කර ගැනීම, පීඩාවෙහි අරුත මැනවින් අවබෝධ කර ගැනීම, ස්ව හික්මවීම සහ ස්ව අධිෂ්ඨානය ආදිය වැදගත් වේ. මේ සම්බන්ධව බොහෝ විසදුම් ආධ්‍යාත්මික මනෝවිද්‍යාව තුළ සාංදෘෂ්ටිකවාදී, මානුෂවාදී දර්ශනයේ හා මනෝවිද්‍යාවේ දැකගත හැකිය.

කෙසේ නමුත් පුද්ගලයෙකු තුළ තම ජීවිතයේ කළකිරුණු ස්වාභාවයක් මත තමන්ට තමන් එපාවීම හෙවත් ආධ්‍යාත්මික හිඩැස නම් වූ සංකල්පය පුද්ගලයින්ට බහුවිධ අංශයන්ගෙන් යුක්තව බලපෑම් ඇති කරන හෙයින් ඒ මත පදනම්ව පුද්ගලයෙකුගේ චර්යාව සාධනීය හෝ නිස්සාධනීය වන බවට නිගමනය කළ නොහැකිය. ඊට හේතුව කෙනෙකු තමාගේ එක් ලක්ෂණයන් හා සම්බන්ධව සාධනීය චර්යාවන් ද පෙන්නුම් කිරීමට හැකිවීමයි. ඒ අනුව පුද්ගලයන්ට ආධ්‍යාත්මික හිඩැස මත පදනම්ව ඇතිවන අයහපත් බලපෑම ඉහළ යන්නේ තමා ඒ හා සම්බන්ධව ප්‍රතිචාර දක්වනු ලබන ප්‍රමාණය අනුවය. ඒ අනුව තම ජීවිතයට අර්ථාන්විතභාවයක්, අරමුණු හා අභිලාෂයන් වැඩි වශයෙන් සාධනය වූ තරමට පුද්ගලයාට ආධ්‍යාත්මික හිඩැස නැමැති සංකල්පයෙන් මිදී කටයුතු කිරීමට යොමුවෙයි. කෙසේ නමුත් පුද්ගලයා තමාගේ ජීවිතය පිළිබඳ යථාර්ථවාදීව සිතා තමාට ගැළපෙන ළගා කර ගැනීමට පහසු අපේක්ෂණ තමා සම්බන්ධව ගොඩනගා ගත්විට එවැනි අපේක්ෂාවන් ඉටුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා තමා තුළ ආධ්‍යාත්මික හිඩැස ක්‍රමයෙන් ඉවත් වේ.

මේ අනුව පුද්ගලයා තමා තුළින් ප්‍රකටවන ආධ්‍යාත්මික හිඩැසට ප්‍රතිචාර දක්වන ආකාරය පුද්ගල චර්යාව රටාව තීරණයවන බව ප්‍රකාශ කළ හැකිය. නැතහොත් පුද්ගලයා තමා පිළිබදව දරන අදහස්, අරමුණු, හික්මවීම සහ අධිෂ්ඨානය යන ආදියට ගැළපෙන ආකාරයට ක්‍රියාකළ බැවින් පුද්ගල අදහස් අර්ථාන්විත නම් චර්යාව ද සාධනීය වේ. එහි දී ආධ්‍යාත්මික හිඩසින් මිදී ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වේ. එසේම පුද්ගලයා තමා එදිනෙදා ජීවිතයේ දී මුහුණපානු ලබන විවිධ පීඩාකාරී තත්ත්වයන් හා ගැටලුකාරී තත්ත්වයන් මත පදනම්ව ආධ්‍යාත්මික හිඩැස ගොඩනැගෙන බැවින් තමා ලබන ව්‍යවසනකාරී, පීඩාකාරී සහ ගැටලුකාරී තත්ත්වයන් එකිනෙකට වෙනස් වනවිට ආධ්‍යාත්මික හිඩැස ප්‍රකාශයට පත්වන ස්වාභාවය ද වෙනස් වේ.

කෙසේ වුවත් සාන්දෘෂ්ටිකවාදී දර්ශනය හා සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාව මත පදනම්ව ගොඩ නැගි ඇති ඉෂ්ටාර්ථ චිකිත්සාව වැනි ප්‍රධාන මනෝප්‍රතිකාර ක්‍රම ද මානුෂවාදී මනෝවිද්‍යාව මත පදනම්ව රොජස්ගේ පුද්ගල කේන්ද්‍රීය ක්‍රමය ද ආධ්‍යාත්මික හිඩැස නම් වූ සංකල්පයෙන් මිදීමට විසදුම් ලෙස ඉදිරිපත්වන ප්‍රධාන මනෝප්‍රතිකාරක ක්‍රමවන අතර මේ දර්ශනවාදයන්ගේ ප්‍රධාන දාර්ශනිකයින් විසින් ආධ්‍යාත්මික හිඩැස නම් වූ සංකල්පයෙන් මිදීමට සාර්ථක විසදුම් ක්‍රම ගණනාවක් ඉදිරිපත් කර ඇත. එහි දී පුද්ගලයන් ඒ හා සම්බන්ධ විසදුම්වල ප්‍රතිඵල සලකා බලන විට එහි සාර්ථක ප්‍රතිඵල ද දක්නට ලැබේ. එසේ ම පුද්ගලයාගේ පෞද්ගලික කටයුතු, ඉගෙනීම් කටයුතු, රාජකාරී කාර්යයන් අසාර්ථක වීමට ද ආධ්‍යාත්මික හිඩැස නම් වූ සංකල්පය විවිධාකාර වූ බලපෑම් සිදු කරයි. මෙලෙස ආධ්‍යාත්මික හිඩැස නම් සංකල්පය ප්‍රකටවන පුද්ගලයින්ගේ මානසික දුබලතාවන් මෙන්ම කායික දුබලතාවන් වශයෙන් ශරීර ශක්තිය හීනවීම, අලස ගතියක් ඇතිවීම සිදුවේ.

මේ අනුව මිනිස් ඉතිහාසය ආරම්භයේ දී සතුන්ගේ චර්යාව තුළ දක්නට ලැබුණු ඔවුන්ගේ සුරැකියාව සැළසූ ඇතැම් මූලික තිරිසන් සහජාශා මිනිසා කෙරෙන් ඉවත්වීම සහ මිනිසාගේ හැසිරීම පාලනය කළ සාම්ප්‍රදායන් වේගයෙන් ඉවත්වයාම  නිසා ආධ්‍යාත්මික හැඩැස නම් වූ සංකල්පය උද්ගත වේ. මෙලෙස අපට ජීවිතයේ කුමන හෝ අවස්ථාවක පැන නගින ආධ්‍යාත්මික හිඩැස නම් වු සංකල්පයෙන් ප්‍රකටවන නිස්සාධනීය චර්යාවන්ගෙන් මිදීමට විසදුම් ලෙස සාංදෘෂ්ටිකවාදී මනෝවිද්‍යාව, මානුෂවාදී මනෝවිද්‍යාව හා ආධ්‍යාත්මික මනෝවිද්‍යාව යොදාගත හැකබව පැහැදිලිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

අබේපාල, අරුන්දතී., අබේපාල, රෝලන්ඩ්. (2010). සාන්දෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ. කොට්ටාව : සාර ප්‍රකාශන.

උපාලි හිමි, දෙමුන්නෑවේ. (2016). ප්‍රඥාසාර ශාස්ත්‍රීය සංග්‍රහය (තුන්වන කලාපය), කැළණිය විශ්වවිද්‍යාලය : භික්ෂු සංගමය.

චන්දසිරි හිමි, විතාරන්දෙණියේ., පඤ්ඤානන්ද හිමි, මාගම්මන., විනීත හිමි, කුඩාකත්නෝරුවේ. (2013). සරණෝපාර. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය : පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය.

පඤ්ඤාරතන හිමි, මහමිතව., පඤ්ඤාලෝක හිමි, මැඩිල්ලේ. (2008). මාගධී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය : පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය.

සුමංගල හිමි, කන්නිමහර (පරි). (1970). සංසාර මන්දිර. කොළඹ 10. සේන පොත් ප්‍රකාශකයෝ.

ගමාච්චි, ලීලානන්ද (පරි), (2002). මිනිස් දිවියේ අරුත සොයා. පුංචි බොරැල්ල : විජේසූරිය ග්‍රන්ථ කේන්දය.


මහේෂි මදනායක

තාවකාලික සහකාර කථිකාචාර්ය

දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Recent Blogs

මහාචාර්ය ඇම්.එච්. ගුණතිලකයන්ගේ වියෝවෙන් අතරමං වූ සාම්ප්‍රදායික දේශීය කලාව
August 5, 2022
නූතන අපරාධවිද්‍යාත්මක උප විෂයන්
August 5, 2022
ශුභඵල දෙන වාස්තුදේවතාවෝ (මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍රය ඇසුරිනි)
August 5, 2022
Health is the Greatest Wealth
August 5, 2022
Alcohol only a violent drink, not a social drink
July 5, 2022

Recent News

Faculty of Humanities and Social Sciences hosted the first ‘Faculty Publication Day 2020′
June 5, 2021
Lankan English or Lankanizing English
June 2, 2021
මානවශාස්ත්‍ර අධ්‍යාපනයේ වර්තමාන අභියෝග
June 2, 2021
පීඨ ප්‍රකාශන දිනය – 2021
June 2, 2021
පීඨ ප්‍රකාශන දිනය 2020 – නිර්මාණ සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ
August 31, 2020

Upcoming Events