This post is also available in: English

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍යමපාලි මහා නිකායේ කල්‍යාණි  සාමග්‍රී මහා සංඝ සභාවේ හිටපු අනුනායක පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මහනාහිමියෝ ඊයේ දින බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුවූ අනතුරකින් අපවත්වී වදාළහ.

උන්වන්සේ 2000 වර්ෂයේ පටන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය හෙබවූ අතරම මෙයට පෙර එම විශ්ව විද්‍යාලයේම මහාචාර්ය, සහාය මහාචාර්ය ධුරයන් සහ ලංඩන් විශ්වවිද්‍යාලයේ, පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන ආයතනයෙහි ආරාධිත මහාචාර්යවකු ලෙසද කටයුතුකර තිබේ.

බෙල්ලන්විල ග්‍රාමයේ විසු බුත්සිලිනා සහ ඕමන්තේ පොල් පෙරේරා යුවලට උපන් සිවුවන දරුවා වූ විමලරතම නාහිමියන්ගේ ගිහි නාමය වුයේ ගිල්බට් පෙරේරාය. 1942 අප්‍රේල් මස 14 වන දින උපන් ගිල්බට් පෙරේරා 13 වන වියේදී සිය පියාගේ වැඩිමහල් සහෝදරයා වු බෙල්ලන්විල සෝමරතන හිමියන් යටතේ බෙල්ලන්විල විමලරතන නමින් පැවිදි දිවියට එළඹ තිබේ. පැවිදිවීමෙන් පසු මොල්ලිගොඩ ප්‍රවචනොදය මහා පිරිවෙනින් සහ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනින් ද පසුව කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරන උන්වහන්සේ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය 1980 වර්ෂයේදී ලබා ගෙන තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සහ පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධි ද්විත්වයක්ද උන්වහන්සේට ප්‍රධානය කර තිබෙන අතර විවිධ සම්මාන උපාධි රාශියක්ද උන්වහන්සේට පිරිනමා තිබේ.

පැවිදි දිවියේ වසර 63 කට අසන්න කාලයක් ගත කල උන්වහන්සේ සිය 76 වන වියේදී අපවත්වී වදාළහ.

පෙබරවාරි මස 8 වන බ්‍රහස්පතින්දා ප.ව. 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය පැවැත්වීමට නියමිත අතර දැනට අනුනාහිමියන්ගේ දේහය මහජන ගෞරවය පිණිස බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සටහන : අපේ කුලපති හාමුදුරුවෝ-මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි