මිහිතලයට වටිනාකම් ගෙනෙන තෙත්බිම්

තෙත්බිම් යනු වසර පුරා හෝ වසරේ කිසියම් කාල සීමාවක් ජල බරිත ව පවත්නා බිම් ය. මිනිසා තුළ තෙතට ඇති ස්වභාවික අපුල නිසාදෝ තෙත්බිම් යනු රැකගත යුතු දර්ශණීය භූමි භාගයන් යන්න ජනතාවට ඒත්තු ගැන්වීමට පාරිසරික බලධාරීන්ට සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදුව ඇත. තෙත්බිම් යන වදන සමග ගොඩනැගුණු කසල පිරි මඩ ගොහොරුවක චිත්තරූපය මැඩ කුරුලු රෑන් හා දිය පස මලින් පිරි හරිත දසුනක් සිත තුළ මැවීමට පරිසරවේදීන් ගත් උත්සාහය අද බොහෝ දුරට පළ දරා ඇත.

එහෙත් තෙත්බිම් ආශ්‍රිතව ශිෂ්ඨාටාචාර ගොඩනඟාගත් ආදි මානවයා එහි වටිනාකම හඳුනා නොගෙන සිටියේ යැයි සිතුවොත් එය මුලාවකි. තෙත්බිමක් යනු වහනය වන ජලය, චක්‍රීයකරණය වන පාංශු පෝෂක ද්‍රව්‍ය හිරුගේ ශක්තිය හා එක්වී සුවිශේෂී පාංශු ජල විද්‍යාත්මක හා වෘක්ෂලතාදී ලක්ෂණ මතු කෙරෙන අපූරු පරිසර පද්ධතියක් නිර්මාණය කෙරෙන පෙදෙසක් බව ඔවුන් හඳුනාගෙන සිටි බවට සාක්ෂි හමුවන්නේ සිය මුල් ජනාවාස තනා ගැනීමට ඔවුන් ගංගා ද්‍රෝණිය පහත් බිම් තෝරා ගැනීම සමග යි.

තෙත්බිම්වලට නිසරු නිෂ්ඵල පිළිකුල් සහගත භූමි භාගයක් ලෙස වැරදි අර්ථකථනයක් ලැබුණේ සාවද්‍ය අර්ථනිරූපණ මත ගන්නා ලද තීරණ මත පදනම් වූ සංවර්ධන ක්‍රමෝපායන් හේතුවෙනි. ඒවා හරහා මිනිසාට අප්‍රයෝජනවත් යයි තීරණය කෙරෙන මෙම බිම් කාර්මික සහ නාගරික කැලි කසල බැහැර කිරීම හා ජලය බස්සවා ගොඩ කොට යම් යම් ඉදිකිරීම් සඳහා යොදා ගැනීම වැනි කාර්යයට යොදාගත යුතු බව නිර්දේශ විය. කෙටියෙන් කිවහොත් “WETLANDS ARE WASTELANDS” යන ආකල්පය මෙම අදූරදර්ශීභාවය මතින් උපන්නක් විනා පෙර සිට පැවත එන ජන මතයක් යැයි කිව නොහැකි ය. මෙම සංවර්ධන රාමුව තුළ විශේෂයෙන් ම නාගරික ප්‍රදේශ මැද පිහිටි තෙත් බිම් ඒවායේ භූමියේ ආර්ථික වටිනාකම් ගැන සලකා ගොඩ කොට විවිධ ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් ගොඩ කරන ලද අතර දුර බැහැරින් පිහිටි තෙත්බිම් කසල බැහැරලන බිම් ලෙස භාවිතයට ගැනිණි. මෙම අගතිගාමී පහත් සංවර්ධන ඵල විපාක විඳින්නට ජනතාවට ඉක්මනින් ම සිදු වූ අතර මද වර්ෂාවකටත් ජලයෙන් යට වන නාගරික මාර්ග පද්ධතිය තුළ තෙත්බිම්වල කාර්යභාරය අවතක්සේරු කිරීමේ ඛේදවාචකය සැඟවී ඇති බව කා හටත් පැහැදිලි ය.

පහත්බිම් සංහාරය නිසා ජනිත වූ පාරිසරික ගැහැට හා වසංගත පැතිරීම වැනි කරදර නිසා තෙත්බිම්වල පාරිසරික උපයෝගීතාවය පිළිබඳ ව නව කතිකාවක් ඇරඹුණු අතර 1990 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව තුළ “රැම්සාර් සම්මුතිය“ බලාත්මක වීම ශ්‍රී ලංකාව තුළ තෙත්බිම් සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භයට සුවිශාල පිටුබලයක් විය. ලොව සුවිශේෂී වනාන්තර සම්බන්ධයෙන් වූවාක් මෙන් ම තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ මුල්කාලීන අවධානය යොමු වූයේ ද එම ප්‍රදේශවල ජලචර පක්ෂි දඩයමේ ගිය දඩයක්කරුවන් වෙතිනි. ඔවුන්ගෙන් ඇරඹුණු ක්‍රියාකාරීත්වය 1971 වර්ෂයේ ඉරානයේ රැම්සාර් නගරයේ දී සම්මුතියක් ලෙස එළි දුටු අතර එය අද “තෙත්බිමක් සංරක්ෂණය පිළිබඳ රැම්සාර් සම්මුතිය“ ලෙස හැඳින්වේ.

තෙත්බිම් හා ඒවායේ සම්පත් සංරක්ෂණය හා බුද්ධිමත් ලෙස පරිහරණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා අන්තර්ජාතික  සහයෝගිතාවය දැක්වෙන එකඟතා ගිවිසුමක් ලෙස තෙත්බිම් සම්මුතිය හැඳින්විය හැකි ය. තෙත්බිම් ආශ්‍රිත මූලික කාර්යභාරය හා එහි ආර්ථීක, සංස්කෘතික, විද්‍යාත්මක හා විනෝදාත්මක වටිනාකම් හඳුනා ගනිමින් වර්ධනය වෙමින් පවත්නා අනවසර අත්පත් කරග ගැනීම හේතුවෙන් වර්තමානයේ දී හා අනාගතයේ දී තෙත්බිම් අහිමි වීම වළක්වා ගැනීම සම්මුතියේ අර අරමුණ වේ. රැම්සාර් සම්මුතියේ දැක්වෙන අර්ථ නිරූපණයට අනුව, “තෙත්බිමක් යනු බාදිය ද සමඟ මීටර් 6 කට අඩු ගැඹුරකින් යුත් සාගරික පෙදෙස් ද ඇතුළත් ව ගලන හෝ නොගලන මිරිදිය, කරදිය හෝ කිවුල් දියෙන් නිරන්තරයෙන් හෝ සෘතුමය ලෙස යට වී පවතින ස්වභාවික හෝ නිර්මිත පීට් බිම්, වගුරු බිම්වලින් සමන්විත ප්‍රදේශයන් ය.” එහි ප්‍රධාන තෙත්බිම් වර්ග 5ක් කාණ්ඩ ගතකර ඇත.

  1. සාගරික තෙත් බිම්
  2. මෝය ආශ්‍රිත තෙත්බිම්
  3. විල් ආශ්‍රිත තෙත්බිම්
  4. ගංගා ආශ්‍රිත තෙත්බිම්
  5. නිර්මාපණ තෙත්බිම්

ශ්‍රී ලංකාවේ දක්නට ඇති තෙත්බිම් ජලයේ ස්වභාවය අනුව පහත කාණ්ඩ තුන ඔස්සේ වර්ග කොට ඇත.

  1. ස්වභාවික අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්
  2. සාගරික හා ලවණ දිය තෙත්බිම්
  3. මිනිසා විසින් නිර්මිත තෙත්බිම්

ආසියානු තෙත්බිම් නාමාවලියට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම් 41ක් පමණ ඇති අතර මේවායේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර 274000 පමණ වේ. ශ්‍රී ලංකාවේ රැම්සාර් සම්මුතිය බලාත්මක වීම සමඟ 1990 වර්ෂයේ දී “බුන්දල“ රැම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර ආනවිලුන්දාව හා මාදුගඟ පිළිවෙලින් 2001 හා 2003 වසරවල දී තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්

මේවායින් ප්‍රධාන වර්ග  කිහිපයක් පහත පරිදි විස්තර  කළ හැකි ය.

ගංගා ඇළ දොල ආශ්‍රිත තෙත්බිම්

ශ්‍රී ලංකාව පුරා විහිදුනු ගණනින් 103ක් පමණ වන ගංගා හා ඇළ දොළ ජාලයන් මෙම තෙත්බිම් සමන්විත වේ. තෙත්බිම්වලින් ආරම්භ වන ගංගාවන්ගේ ගංගා ද්‍රෝණි වර්ෂය පුරා තෙත් ගතියෙන් යුක්ත වන අතර අනෙකුත් ඒවා සෘතුමය වශයෙන් ද පවතී. දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 16% ආවරණය කරන මහවැලි ගංගා ද්‍රෝනිය සතුව ඉතා ඉහළ සමාජ, ආර්ථික හා පාරිසරික වටිනාකමක් තිබේ.

විල්ලු තෙත්බිම්

ශ්‍රී ලංකාවේ ස්වභාවික විල් දක්නට නොමැති අතර ඒ වෙනුවට හෙක්ටයාර 12500 ක් පමණ ප්‍රදේශයක විහිදෙන විල්ලු නම් පිටාර තැනි ජලාශ රැසක් දක්නට ලැබේ. පිටාර තැන්නක් යනු ගංගාවකට හෝ ඇළකට දොළකට යාබද ව පිහිටි නිතර හෝ සෘතුමය ලෙස ගංවතුරෙන් යටවන තැනි බිම්කඩකි. ගංගාවක් ඉවුරු බිඳී  පිටාර ගලන විට දෙපස පහත්බිම්හි පාෂාණ හා මඩ තට්ටු තැන්පත් වේ. බොහෝ විට පිටාර තැන්නේ අවසාදිත තට්ටුව ජල මාර්ගයේ පත්ලේ මට්ටමටත් යටට විහිදෙයි. විල්ලුවේ පස ද ඉතා ම සාරවත් වන අතර වියළි කාලයේ පවා භූගත ජල මට්ටම පස මතුපිට ආසන්නයේ පවතී. විල්ලුවක ශාක ප්‍රජාව බොහෝ කොට ම ජලකාමී තෘණ විශේෂවලින් සමන්විත වේ. ලංකාවේ විශාලතම විල් දක්නට ලැබෙන්නේ නැගෙනහිර දිග මහවැලි පිටාර තැන්නෙහි ය.

මිරිදිය වගුරු

ගංගාවකින් හෝ ජලයෙන් පෝෂණය වන හෝ භූගත ජලය කාන්දු වන නොගැඹුරු පෙදෙස් මිරිදිය වගුරු ලෙස හැඳින්වේ. දියබරිත නො ඇලෙන සුලු පස මෙම ප්‍රදේශවල ලාක්ෂණික වන අතර අර්ධ වශයෙන් ජීර්ණය වන කාබනික ද්‍රව්‍ය මගින් පීට් සෑදෙයි. මුතුරාජවෙල වගුර ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම පීට් වගුර ලෙස හදුන්වයි.

සාගරික වණ තෙත්බිම්

මෙම තෙත්බිම් කාණ්ඩ 4කට බෙදා ඇති අතර ඒවා තවදුරටත් වර්ග 14කට වෙන්කොට ඇත. මේවායින් බොහොමයක් වෙරළතීරය ආශ්‍රිත ව පිහිටා ඇති අතර විල්පත්තුවේ තිබූ කරදිය විල්ලු සමූහය පමණක් ඉන් බැහැර ව පිහිටා ඇත. මේවායින් වැදගත් කාණ්ඩ කිහිපයක් පහත පරිදි විස්තර කළ හැකි ය.

මෝය හා කඩොලාන බිම් 

මෙම තෙත්බිම් වර්ග දෙක වෙරළාසන්නයේ එකිනෙක හා සම්බන්ධිත ව පවතී. මෙම පරිසර පද්ධතියේ විශේෂිතම ලක්ෂණය වන්නේ උදම් මට්ටමේ දෛනික උස්පහත් වීම් හා කරදිය මිරිදිය අතර පවතින ජලයේ ලවණතාවය යි. ලංකාවේ ගංමෝය (45) ක් පමණ තිබේ. මෝයක දක්නට ලැබෙන පාරිසරික ස්වභාවයේ අස්ථායි ස්වභාවය හා සුසැදී ජීවත්වන මැනවින් හැඩ ගැහුණු ශාක ප්‍රජාවක් කඩොලාන වන කලාපයට අයත් වේ. කඩොලාන වනාන්තර සහිත මෝයවලට හොඳ ම උදාහරණය වන්නේ මාදුගඟ, බෙන්තොට හා කලා ඔය මෝය යි.

කලපු

කලපුවක විශේෂ ලක්ෂණය වන්නේ එය මුහුදට නිත්‍ය ලෙස හෝ සෘතුමය ලෙස විවරව තිබෙන පටු අපවහන ජල මාර්ග සහිතව පහත් වැලිවැටි මගින් මුහුදෙන් වෙන්ව පිහිටීම යි. කඩොලාන, මඩ තැනි හා මුහුදු තෘණ බිම් කලපු ආශිත ව පිහිටා තිබිය හැක. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය වටා කලපු 42 ක් පමණ දක්නට ලැබේ. උදාහරණ ලෙස බුන්දල කලපුව, මූන්දල කලපුව හා කලමැටිය කලපුව දැක්විය හැකි ය.

අභ්‍යන්තර කරදිය විල්ලු

විල්පත්තු වනෝද්‍යානයේ පිහිටි කරදිය විල්ලු පද්ධතිය සුවිශේෂී වූ පාරිසරික නිර්මාණයකි. මේවා වැලි පස් මත පිහිටි නොගැඹුරු විල් ලෙස ද සැලකේ.

මිනිසා විසින් නිර්මිත තෙත්බිම්

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුණු ජලාශ්‍රිත ශිෂ්ටාචාරය දියුණුව මැනැවින් විදහා දක්වන ගම්වැව් ලක්ෂයක් පමණ රජරට පුරා විසිරී පවතින අතර ඒවා මෙම තෙත් බිම් වර්ගයේ මුදුනෙහි ලා සැලකේ. මෙම වැව් පද්ධතිය හා සම්බන්ධ වන යොදුන් ගණන් දිගු ඇළ මාර්ග පද්ධතිය ද ඒවායින් කෙරෙන අතිමහත් කුඹුරු සංඛ්‍යාව ද මිනිසා විසින් තනන ලද අද ස්වභාදහමේ කොටසක් බවට පත්ව ඇත. මේවා අද්විතීය තෙත්බිම් වර්ගයේ වෙන් කළ නොහැකි සංඝටක ය. පරිසර පද්ධතියක් වන තෙත්බිම්වලින් සැලසෙන පාරිසරික සේවා අතිමහත් ය. බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයනවා සේම බොහෝ ජීවී විශේෂවලට තෙත්බිම් අභිජනන බිම් වේ. බොහෝ සංචාරක කුරුලු විශේෂ මහද්වීප තරණ පියාසැරියේ දී ගිමන්හලක් මෙන් ම ගොදුරු බිමක් ලෙස ද තෙත් බිම් භාවිතා කරයි. ගංගා පිටාර ගලන විට ජලය උරා ගැනීමට ද ගංවතුරේ වේගය බාල කිරීමට ද තෙත්බිම් ක්‍රියාකරයි. ගංවතුර පාලනය කර පරිසරයට දේපළවලට හා ජීවිතවලට වන හානිය අවම කිරීමටද තෙත්බිම් උපකාරී වේ.

එසේ ම ජලය ගංගා ජලාශ හා නිකුත් ජලස්කන්ධයන් වෙත ළඟාවීමට පෙර එහි ඇති වැඩිපුර පෝෂක, අවසාදිත වෙනත් පරිසර දූෂක උරාගැනීම තෙත්බිම් මගින් සිදුවේ. එමෙන් ම තෙත්බිම් පවිත්‍රකාරක බිම් ලෙස ද ක්‍රියාකරයි. විෂ සහිත පරිසර දූෂක හා අවසාදිත තැන්පත් කරගන්නා බිමක් ලෙස ද තෙත්බිම් ක්‍රියාත්මක වේ. අන් සියලු වනාන්තර මෙන් ම තෙත්බිම් ද කාබන් තැන්පත් කරගන්නා බිම් ලෙස ක්‍රියාකරයි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම මිනිසාට ආහාර, ඖෂධ, රසකාරක, කර්මාන්ත අමුද්‍රව්‍ය, ජෛව ඉන්ධන, ධනෝපායන මාර්ග, විනෝදාස්වාදය හා රසාස්වාදය යනාදිය සැපයීමෙහි ලා අන් කිසිදු වනාන්තර වර්ගයකට නොදෙවෙනි ප්‍රභවයක් ලෙස තෙත්බිම් ක්‍රියාකරයි. එහෙත් තෙත්බිම්වල වඩාත් වැදගත් අංග දෙකක් මෙසේ සෘජු ආර්ථික වාසි වලින් හුවා දැක්විය නොහැක. ඒවා නම් ඉහළ ජෛව විවිධත්වයට රැකවරණය ලබාදීම හා සංස්කෘතික උරුමය පෝෂණය කිරීම ය.

ශ්‍රී ලංකාවේ සමස්ත ගොඩබිම් ප්‍රදේශවල ජීවත්වන පෘෂ්ඨවංශීය සත්ව විශේෂ සංඛ්‍යාවෙන් 30% ක් පාරිසරික වශයෙන් තෙත්බිම් මත යැපෙන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් 50%ක් සෘජු ව ම තෙත්බිම් මත යැපෙයි. එසේ ම දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ පෘෂ්ඨවංශීය සත්ත්ව විශේෂ වලින් 32%ක් පමණ අනාගත පැවැත්ම ශ්‍රී ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය මත රඳා පවතින බව වාර්තා වෙයි.  සුවිශාල පාරිසරික වැදගත්කමක් ඇති තෙත්බිම් පරිසර පද්ධතියේ පැවැත්මට එරෙහිව වර්තමානය වනවිට බොහෝ තර්ජන එල්ල වී ඇත. මෙසේ මෙම බිම් තර්ජනයට ලක්ව ඇත්තේ විවිධ මානව ක්‍රියාකාරකම් නිසාවෙනි. ඒ අනුව ඉඩම් ගොඩකිරීම, වන වැස්ම කපා දැමීම, කාබනික ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය හා කැලිකසල ජලයට එක්වීම මගින් ජලය දූෂණය වීම, වැලි ගොඩ දැමීම, කොරල් සැරීම ආදී වූ ක්‍රියාකාරකම් නිසා තෙත්බිම් ආශ්‍රිත ශාක හා සත්ව ප්‍රජාවගේ පැවැත්මට සුවිශාල හානියක් සිදු වී ඇත. එසේ ම ආක්‍රමණික ශාක පැතිරීම නිසා ද මෙම පරිසර පද්ධතිය අවදානමකට ලක්ව ඇත. දිගු නියං සමයන්. සාගර උෂ්ණත්වය ඉහළ යාම. සුනාමි වැනි ආපදා ආදිය ද විටෙක තෙත්බිම්වල පැවැත්මට අහිතකර ලෙස බලපායි. ඉහත අයුරින් හායනය වන තෙත්බිම් පරිසර පද්ධති සංරක්ෂණය සඳහා රැම්සාර් වැනි සම්මුතීන් දැඩි පරිශ්‍රමයක් දරන අතර එසේ සිදුකරන ලද සංරක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවේ තෙත් බිම් ප්‍රදේශ ඇතුළත් කොට ඇත.

උස් තෙත්බිම් – ශ්‍රී පාද අඩවිය අභයභූමියක්

මිරිදිය කරදිය විල්ලු – විල්පත්තු ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද් වනෝද්‍යානය

මිරිදිය වගුරු- බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය, මුතුරාජවෙල වගුරු, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමිය

පුරාණ වැව්- ආනවිලුන්දාව, මින්නේරිය, කවුඩුල්ල, යෝධ වැව හා තබ්බෝව වැව ආශිත අභය භූමි

වාරි ජලාශ – වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය

කලපු –  බුන්දල ජාතික වනෝද්‍යානය

කඩොලන – විල්පත්තු, කලමැටිය අභය භූමිය

කොරල් පර – පරවි දූපත්, රූමස්සල, බාර්රීෆ් අභය භූමිය

තෙත්බිම් පරිසර පද්ධතිය රැක ගැනීමෙහි ලා විවිධ පාර්ශ්ව හඬ නැගුව ද කෙතරම් ලිපි ලේඛන පළ කළ ද විශේෂයෙන් ම නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ මැද පිහිටි පහත් බිම් හා වගුරු බිම් නම් භූමියේ රුපියල් සත වටිනාකම හේතුවෙන් තවමත් පවතින්නේ දැඩි තර්ජනකාරී තත්වයක ය. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල මනා ජලවහනය ඉමහත්සේ උරදෙන මෙවන් වටිනා තෙත්බිම් පවා තවමත් රජයේ ආයතන ඉදිකිරීම සඳහා යොදාගැනීම කණගාටුවට කරුණකි. පරිසර නීතිය හොඳින් දත් පරිසර සම්පත්වලින් ජීවිතය සරි කරගන්නා පරිසරය සමඟ බැඳී පවතින මිනිසුන් මෙකී තෙත්බිම් පරිසර පද්ධතිවල වටිනාකම අවබෝධ කරගෙන මතු පරපුරට අමිල වූ දායාදයක් පරිත්‍යාග කිරීම සඳහා පරිසරයට අනුගත වන අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීමක් වනු නොඅනුමාන ය.

එස්. ජේ. එම්. එන්. එස්. තිලකරත්න
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
සිව්වන වසර