සොබාදම් මෑණියන් අපගේ හෘදස්පන්දනය යි

මිහිතලය ලොව සැමගේ ම අම්මා ය. අපි ඇගෙන් ජීවිතය ලදිමු. එහෙයින් ඇයට පෞද්ගලික ව ආදරය කළ යුතු වෙමු”
චින්ගීස් අයිත්මාතව්

මේ ගුරු ගීතය යි. එය අප හදවත් තුළ සදානුස්මරණීය සිහිවටනයක් ව යුග යුග රැව්පිළිරැව් දෙන්නේ සොබාදම් දිනිතියගේ කුසින් මෙලොවට බිහි ව ඇගේ කිරෙන් පොහොණි ව ඇගේ තුරුලේ අවසන් නින්ද ද ලබන සත්වග වෙත ඇය ඒ තරම් ම ළෙන්ගතු බැවිනි.

දිනකර තණ අග වූ පිනිබිඳු වියකා හරිද්දී, අරුණෝදයේ ම විකසිත නන් පැහැ පුෂ්පයන්, නිල්වන් ඝන වැස්මක් සේ ධරණි තලය පුරා සිය අණසක පතුරුවන රූස්ස වෘක්ෂයන්, උදුල රිදීරේඛා වැනි වූ ගංගාවන්, අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ සාවුන්, මුවන් ද රුදුරු බවින් අගතැන්පත් වූ සිහවගවළස් වැනි වනසතුන් සොබාදම් දිනිතියගේ මනරම් අංගයෝ ය.

එවන් වූ සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පරිසරයත් මිනිසාත් අතර ඇත්තේ අත්‍යන්ත වූ සබැඳියාවකි. මිනිසාගේ දියුණුව හෝ පරිහානිය කෙරෙහි බලපාන සාධකයක් ලෙස පරිසරය ඉදිරිපත් කරන්නේ එහෙයිනි. බුදුදහම තුළ පතිරූප දේස වාසෝ ච හෙවත් සුදුසු පියසක විසීම දියුණුවට හේතුවක් වන බැව් මහා මංගල සූත්‍රය මගින් අවධාරණය කර ඇත. සකල ලෝක ධාතුව ම දේව නිර්මාණයක් බැව් සලකන කිතු දහම තුළ ද ස්වභාවික පරිසරයට අත්‍යන්ත වටිනාකමක් එක් කර ඇත. මැවූ වස්තූන් පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා මිනිසා මැවිල්ල සුරැකීමට බැඳී සිටින බව ද එයින් විශ්වාස කෙරේ. පරිසරය පිළිබ ඳ ඉස්ලාමීය දෘෂ්ටිය ද මැවුම්කරුවෙකු ගැන විශ්වාස කරන සෙසු ආගම්වලින් වෙනස් නොවේ. සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ නිමැවුම්වලට ගෞරව කිරීම, රැක ගැනීම සැම ඉස්ලාමීය බැතිමතෙකුගේ ම යුතුකම යි.

එහෙත් අර්බුද නමැති මඩ ගොහොරුවේ කරවටක් ගිලී සිටින වත්මන් ගෝලීයකරණය වූ ලොව තුළ පරිසරය සියලු ම මානුෂ ක්‍රියාකාරකම්වලින් පීඩාවට පත්වෙමින් සිටිනු දැකගත හැකි ය. මුදල් නම් වූ මිරිඟුව පසුපස හඹායන අද්‍යතන ධනේශ්වරය තුළ පරිසරය මිලින ව යාමට ආසන්න ය. වසර සිය ගණන් ඉපැරණි ඉතා වටිනා වනස්පතීන් එක් නිමේෂයකින් හිත්පිත් නොමැති ව  මිහිමත පතිත කිරීමට මිනිසත්බව වඳ කරන මුදල අබිසෙස් ලබන වත්මන් යුගය තුළ සොබාදම් මවගේ දරු කැළ සැහැසි වී ඇත. එලෙසින් ම පරිසරයේ අපූර්වත්වය සුරකින වන සිව්පාවුන් ගේ ජීවිත අවධානමට ලක්වී තිබීම අතිශය කනගාටුදායක ය. තව ද මිනිසා ස්වකීය ඥානය මෙහෙයවමින් අපූර්ව පරිකල්පනයන් තුළින් බිහි කළා වූ කර්මාන්තශාලාවෝ ද මිහිලිය කෙලෙසන පාපතර දෑත් බවට පත්ව ඇත්තා සේ ය. කර්මාන්තශාලාවන්ගෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු ද පරිසරය දූෂිත කිරීමට හේතු වී ඇත. හරිතාගාර ආචරණය නිසා ඇතිවන ආම්ලික වර්ෂාවන්ට ද මෙම අහිතකර වායු බලපා ඇත.

ඉතාමත් සමීප සබඳතාවක් මිනිසා හා පරිසරය අතර පවතින නිසා මිනිසා පරිසරයෙන් ප්‍රයෝජන ගත යුත්තේ කෙසේ ද යන්න නිරන්තර අවධානයට ලක්ව ඇති ගැටලුවක් ලෙසින් සඳහන් කළ හැකි ය. ධම්මපදයේ ද බෞද්ධ පරිසර ප්‍රතිපත්තිය උපමාවකින් පැහැදිලි කෙරෙන්නේ “මීමැස්සෙකු මලට හානියක් නොකර මලින් රොන් ගන්නා අයුරින් බෝග රැස්කරන නුවණැති මිනිසාගේ ධනය නොනැසෙන බව” විවරණය කරමිනි. මෙම උපමාලංකාරය සවිස්තර ව දක්වන ධම්මපදය මලේ වර්ණයට ද, සුවඳට ද  කිසි හානියක් නොකොට මල නොතලමින් රොන් ගන්නා මී මැස්සා නිසා පරාගනය ද සිදු වේ. මෙහි දී පරිසරයේ සුන්දරත්වය ද, ගුණාත්මක අගය ද එලෙස රකිමින් පරිසරයේ පැවැත්මට උපකාරී වීමක් මී මැස්සාගෙන් ඉටු වන බැව් මනාව විශද ය. පරිසරයෙන් ලැබෙන ප්‍රයෝජන උපරිම අයුරින් ඒ පරිසරයට ද මිනිසාට ද හිතකර වීම අවශ්‍ය බවත්, ක්‍රමාණුකූල සංවර්ධනයක් අපේක්ෂා කරන මිනිසා අනවශ්‍ය අතිධාවනකාරී බව ඈත් කරමින් පරිසරය හා හිතමිතුරු ආකල්පයෙන් බැඳී පරිසරයෙන් ප්‍රයෝජන ගතයුතු බවත් මෙයින් ධ්වනිත වේ. එහෙත් එය තමනට හිතකර අයුරින් වෙනස් කර ගැනීමේ දී බුද්ධිමත් ව ක්‍රියා කළ යුතු ය.

පරිසරය විශාල වෙනස්වීම්වලට භාජනය වීමේ දී පාරිසරික තුලනය බිඳ වැටීමේ තර්ජනය උග්‍ර වෙමින් පවතී. විශේෂයෙන් ම ඇතැම් ජන කොටස් ඇතුළු ශාක හා සත්ත්ව විශේෂ පෘථිවියෙන් සදහට ම වඳ වී යාමේ තර්ජනයකට ලක් වී ඇත. මේ අතර ආහාර නිෂ්පාදනය බිම් හෙක්ටයාර මිලියන හයක් කාන්තාර බවට පත්වෙමින් පවතී. ඉදිරි දශක තුන තුළ දී එම බිම් ප්‍රමාණය සෞදි අරාබියේ මුළු බිම් ප්‍රමාණය තරම් වනු ඇත. හෙක්ටයාර මිලියන 11ක් පමණ වූ වනවැස්ම විනාශවෙමින් පවතී. ඉදිරි දශක තුන තුළදී නැති වී යන වනාවරණය ඉන්දියාවේ වර්ග ප්‍රමාණයට සමාන වනු ඇත. වනාන්තර එළි කිරීමෙන් ඇති වූ එම බිම්වල නිෂ්පාදනය ඒවායේ වගා කරන  ගොවීන්ගේ පෝෂණය සඳහාවත් ප්‍රමාණවත් නොවන තරමට පහළ වැටෙනු ඇත. යුරෝපයේ අම්ල වර්ෂාව මගින් වනාන්තර හා ජලජ පද්ධතිය පමණක් නොව මිනිසාගේ පුරාවිද්‍යාත්මක හා කලා උරුම පවා විනාශ කරනු ලැබ ඇත. යළි පිළිසකර කළ නොහැකි තරමට පස ආම්ලික තත්ත්වයට පත් කර ඇත. පොසිල ඉන්ධන දැවීම මගින් ගෝලීය උණුසුම් වීම තවත් තීව්‍ර වෙමින් පවතී. පෘථිවියට ඉහළින් ශ්වේත ඡත්‍රය වැනි ඕසෝන් වියනට සිදුවන හානි මගින් මිනිසාට හා සතුන්ට පිළිකා වැළඳීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිවී ශාරීරික ආහාර දාමයන්ට ද විශාල වශයෙන් බාධාවන් ඇති වී තිබේ. මීළඟ සියවසෙහි දී පරිහානියට යමින් පවතින පරිසරය තුළ දෙගුණවන ජනසංඛ්‍යාවක අවශ්‍යතාව සපුරාලීමට වර්තමානයේ අප ලබමින් සිටින සංවර්ධනය ප්‍රමාණවත් වන්නේ දැයි අවබෝධ කරගත යුතු ය.

පරිසර දූෂණය වැළැක්වීම සඳහා පසුගිය දශක දෙක තුළ කරන ලද විවිධ ආයෝජන පිරිවැය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ මට්ටමක පැවති බව පෙනුණි. එසේ වුව ද පරිසරය සුරැකීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය නොකිරීම හේතුවෙන් ඇති වූ ආර්ථික හා පාරිසරික හානි පිළිබඳ අත්දැකීම් ද විරල නො වේ. මේ සම්බන්ධයෙන් මූල්‍යමය සංකූලතා විශාල වශයෙන් පවතී. එබැවින් මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහු ජාතික මූල්‍ය ආයතනයන්ට පරිසරය සංරක්ෂණය පිළිබඳ විශාල කාර්යභාරයක් පැවරී ඇත. එවැනි නව ප්‍රමුඛතා පිළිබඳ සියලු ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන යළිත්  අවධානය දිය යුතු යි.

එලෙස ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ද පරිසරය සුරැකීම සඳහා අපට දායකත්වයක් සැපයිය හැකි ය.  විශ්වවිද්‍යාල මට්ටමින් පවත්වනු ලබන පරිසර සංවර්ධන වැඩසටහන්වලට පූර්ණ සහයෝගය දිය යුතු යි. එමෙන් ම සකල ලෝකවාසීන්ට ආදරය කරන, සොබාදහමට ලැදි අනාගත පරපුරක් බිහි කිරීමට අවැසි ප්‍රඥා සම්ප්‍රයුක්ත දැනුම් සහිත විෂය නිර්දේශයක් සකස් කිරීම හෙට දිනට අතිශය වැදගත් වනු ඇත.

ඔබ ඔබේ දරුවන්ට ඉගැන්විය යුත්තක් වෙයි. මේ පොළොව අපගේ මාතාව බව ඔබේ දරුවන්ට කියා දෙනු මක්නිසා ද මහපොළොවට සිදුවන දෙය ම ඔබේ දරුවන්ට ද සිදුවන නිසා ය. මිනිස්සු බිමට කෙළ ගසත් ද ඔවුහු ඔවුනට ම කෙළ ගසා ගනිති.”            

සියැටල් – මිහිමඩලේ ගීතය

අදට ශතවර්ශ කිහිපයකට ආසන්න කාලයක දී නූතන අධ්‍යාපන ක්‍රමවල ආභාසය හෝ අක්ෂර ඥානය පවා නොලැබූ, සුදු ජාතිකයන් විසින් ම්ලේච්ඡ මනුෂ්‍යයන් වශයෙන් සලකනු ලැබූ රතු-ඉන්දියානු ගෝත්‍රික ජන නායකයෙකු සියැටල් විසින් සිය ජීවිත පරිඥානයෙන් කරන ලද ඇතැම් අනාවැකි ශතවර්ෂාධික කාලයකින් අනතුරුව ද නූතන ලෝකය තුළ ක්‍රමයෙන් යථාර්ථයක් වන අයුරු විස්මයජනක ය.

වන සම්පත හා සබැඳි පරිසරය විනාශ කිරීමෙන් වරක් සශ්‍රීකව පැවති භූමිය, නිසරු මුඩු බිමක් බවට පරිවර්තනය විය හැකි බව, එවන් ඈත යුගයක දී සියැටල් ඔහුගේ තියුණු නුවණින් දුටුවේ ය.

ඉදින් සුන්දරත්වයේ අනර්ඝතම නිර්මාණයක් වූ ස්වභාවික පරිසරය අකාලයේ මිලින ව යන්නට ඉඩ නොදී ඈ රැකගැනීමටත්, රතුඉන්දියානු ජනනායක සියැටල් නොදුටු අපි, ඔහුගේ සදාතනික අනුගාමිකයන් වීමට ඉටා ගනිමු.

මේ මහ පොළොවේ සෑම බිම් අඟලක් ම මගේ ජනතාවට පූජනීය ය. සුවිශුද්ධ ය. ළහිරු එළියෙන් බැබළෙන දේවදාර ගස්වල සැම  සිහිල් පත්‍රයක් ම…… මාගේ ජනතාවගේ චිත්ත සන්තානයේ ද අත්දැකීම් සමුදායේ ද ශුද්ධ වස්තූහු වෙති.” සියැටල් –  මිහිමඬලේ ගීතය

මූලාශ්‍රය
පාරිසරික දත්ත වාර්තා හා  මිහිමඬලේ ගීතය.

එස්. එම්. ඉෂිණි හංසිකා
දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය,
තෙවන වසර